mediahumanrights.lk
Local NewsNews

පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනයට එරෙහිව පොලිසිය

මහමගදී, පොදු ප්‍රවාහන සේවාවලදී සහ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනවලට ගොදුරු වෙති.

මේ තත්වයට වැට බැඳීම පිණිස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
විශේෂයෙන්ම රජයේ සහ පෞද්ගලික බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර වැළැක්වීම, මාර්තු අට වැනි දිනට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව දියත් කෙරෙන මේ වැඩපිළිවෙලේ මූලික අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍යට පැවසීය.
“එවැනි සිද්ධීන් සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම්, කාන්තාවන්ට පැළඳීම සඳහා ‘සුරබි’ නමින් පළඳනාවක්, ඒ වගේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරලා තියෙනවා,” ඔහු පැවසීය.
එම වැඩසටහන්වලට පොලිසිය සම්පූර්ණ සහාය ලබාදෙන අතරම අතවරයට ලක්වන කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා නීති ප්‍රකාර ක්‍රියාකිරීමට පොලිසිය බැඳී සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේය.
විශේෂයෙන්ම දඬුවම් පැමිණවීමට වඩා කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳව සමාජය දැනුවත් කොට, අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත්වීමට සමාජය දිරිමත් කිරීම එහි මූලික අරමුණ බවත් පොලිසිය පවසයි.
“බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්, තමන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් නැගී සිටීමේ කැමැත්ත ඇති අය මේකට සම්බන්ධ කරගැනීමටත්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට සුදුසු ප්‍රවිෂ්ඨ මාර්ග සකස් කරදීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා.”
කාන්තාවක ලිංගික හිරිහැරයකට ලක්වන අවස්තාවක් සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම්දීමට සමාජය දක්වන “පසුගාමී ආකල්පය” වෙනස්කොට සමාජය, පොලිස් නිලධාරීන් මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල සේවකයන් දැනුවත් කිරීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

Shiran Viraj

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Shiran Viraj

තවත් 2,735කට කොරෝනා

Shiran Viraj
Translate »