mediahumanrights.lk
Entertainment Entertainment News News

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි.

එදා කීනවින්න පවුලේ හතරවැනි දියණිය පසුව මුළු රටක් හඳුනාගත්තේ ශාන්තා මායාදුන්නේ නම් උයන පිහන කලාවේ සැබෑම ප්‍රවීණ ශිල්පිනියක ලෙසිනි. සූපවේදිනයක ලෙසින් කා අතරත් ආදරය දිනූ ඇය අප හැර ගියේ නොසිතූ මොහොතකය. රටක් කම්පා කරන ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ තම ජීවිතයට සමුදුන් ඇය ප්‍රවීණ සූපවේදිනියක් පමණක් නොව තවත් හැකියාවන් රැසක්ම උපතින් උරුමකර ගත්තියකි. ඇයගේ වැඩිමහලු දියණිය වූ නිසංගා මායාදුන්නේ ද ජීවිතයෙන් සමුගත්තේ ඇයගේ දියණියට මාස 09 ක කුඩා දරු සිඟිත්තියක වූ නිෂායා දියණිය ද තනිකරමිනි.

කාන්තා පුවත්පත් සමග ඉතාම සමීපව කටයුතු කළ ඇය බෙහෙවින්ම සරල ජිවිතයක් ගත කළ නිරහංකාර චරිතයකි. එසේම ඇයගේ දැනුම තුළින් සිය දහස් ගණනක් ආලෝකය ලැබීම ද ඇය ලැබූ භාග්‍යයකි.

එහෙත් ඒ සියලු මතකයන් අප අතුරින් සමුගෙන ගිය ශාන්තා මායාදුන්න පිළිබඳ මෙම කෙටි සටහන අප තබනුයේ ඇයගේ ජිවිත පියසටහන් පෙළක් ලෙසිනි.

ලාංකේය කාන්තා පරපුරේම ආදරණීය හිතවතියක වූ ශාන්තාගේ ජීවිතය පුරාම සටහන්ව තැබුණේ අපේකමයි. මිය යන විට 66 වැනි වියේ පසුවූ ඇය කොළඹ විශාඛා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වනුයේ උසස් පෙළ ගණිත අංශයෙනි. පසුව උසස් අධ්‍යාපනය හදාරා ගුරු වෘත්තියට පිවිසෙන්නේ දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමේ අපේක්ෂාවෙනි. 1982 වසරේදී ඇය කුමාර් මායාදුන්නේ හා විවාහ වන්නේ පාසල් ප්‍රේමයක් දලුලා වැඩෙමින් එකම කැදැල්ලකට කූඩු වෙමිනි.

මහජන බැංකුවේ සේවා නිලධාරියකු ලෙස සේවය කරන ඔහු සැබැවින්ම ඔහුගේ දයාබර ස්වාමිපුරුෂයා ලෙසින් දිවි ගමනේ දුකේදී සැපේදී එකට සිටියේ මහත් සෙනෙහසිනි. මේ කැදැල්ලට දියණියන් දෙදෙනකුගේ එක්වීමත් සමඟ ඔවුන් බොහෝ කාර්යය බහුල විය. මේ නිසාම තම රැකියාවෙන් ඉවත්වන ශාන්තා තම කුටුම්බයේ සියලු කටයුතු වෙනුවෙන් කැපවූයේ මහත් කැමැත්තෙනි.

තම පවුල් දිවියේ කෙතරම් කාර්ය බහුල වුවත් ඇයගේ හැකියාව යන්නට ඉඩක් නොවීය. සැමවිටම ඇය අලුත් කෑමක් තනා රසබලන්නට එය තවත් අය සමඟ බෙදා හදා ගන්නට දැක්වුයේ පුදුමාකාර කැමැත්තකි. ඇය තුළ වූ මේ සැඟවුනු සහජ කුසලතාවය ඇය කරා සොයාගෙන පැමිණියේ සිත් ඇදගිය නොහැකි ලෙසිනි.

රූපවාහිනී වැඩසටහන්, කාන්තා පුවත්පත් ඇයගේ සමිපතමයන් විය. ඇය සූපශාස්ත්‍රය අතික්‍රමණය කරමින් නිවෙසක් අලංකාර කර ගන්නා අයුරු කාන්තාවන්ට කියාදුන්නේ තම ජීවිත අත්දැකීම් තුළිනි. පන්නිපිටියේ පරණ කොට්ටාව පාරේ පිහිටි ඇයගේ නිවහන සැබැවින්ම සුන්දරත්වය උතුරා ගලන නිකේතනයක් වූයේ ඇයගේ සොඳුරු දෑතිනි.

එසේම ඇය සූපවේදයේ දැවැන්ත පෙරළියක් කළ සූපවේදිනියක් ලෙසින් ජනප්‍රියත්වයට පත්වන්නේ මහරගම යොවුන් රඟහලේදී දැවැන්ත සූපවේදී වැඩමුළුවක් පවත්වමිනි.

ඇය සැමවිටම අලුත් දෙයක් කරන්නට අලුත් යමක් කාන්තා පරපුරට දෙන්නට මහත් උත්සහයක් ගත් කාන්තාවකි. ඇය ඇමෙරිකාව, තායිලන්තය, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාවේ පවා සංචාරය කරමින් ලැබූ අත්දැකීම් අපේ ගෘහණියන් හට තිළිණ කළේ නිර්ලෝභී ලෙසිනි.

ශාන්තාගේ ජනප්‍රියත්වය තුළ ඇය කිසි දිනක උඩඟුවූයේ නැත. ඇය සූපශාස්ත්‍ර පොත් රැසක්ම පළ කරන ලද්දේ මේ දැනුමෙනි.

එහෙත් ඇයගේ දෛවයේ අවසානය මෙවැනි අයුරින් අවසන් වෙතැයි කවුරුත් නොසිතන්නට ඇත. තම පවුලේ දියණියන් දෙදෙනාත් (වැඩිමහල් දියණිය නිසංගා බාලදියණිය තරංගා) බෑනනුවන් දෙදෙනා හා තම සැමියා සමඟ ෂැන්ග්‍රිලා හෝටලයට යන ඇය සෙල්ෆි ඡායාරූපයක් ගෙන හෝටලයේ පහළ මහලට පැමිණියේ තම වැඩිමහල් දියණියන් සමඟිනි.

ඒ හෝටලයේ අවට පරිසරයේ සුහදත්වය දිවියේ ආහාරයක මිහිර විඳගැනීමටයි. එහෙත් ඒ කුරිරු බෝම්බය සොයා ආවේ ෆෑන්ඒෂියා බැංකුවේ කළමනාකාරිනියක වූ ඇයගේ වැඩිමහල් දියණිය වු නිසංගාගේ ජීවිතය උදුරා ගනිමිනි. මෙම සිදුවීම මේ ම්ලේච්ඡ වූ ප්‍රහාරයේ එක් අමිහිරි වූ සිද්ධියක් පමණකි.

කෙතරම් අහිංසක ජීවිත ප්‍රමාණයක් මෙසේ අහිමිවූයේද? ශාන්තා මායාදුන්න නම් ඒ දක්ෂ සූපවේදිනියගේ හැකියාව හා දැනුමින් තව දක්ෂයන් කී දෙනෙක් බිහිවන්නට ඉඩ තිබුණේද? ඇය මෙලෙසින් මෙලොව හැර යන්නට තරම් කුරිරු බෝම්බය සැහැසි වූයේ ඇයිදැයි සමස්ථ ශ්‍රී ලාංකේය කාන්තාවන්ම දුක්වන්නේ හද පතුලෙනි. 


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

Shiran Viraj

ලොව පුරා කොවිඩ් මරණ එක් ලක්ෂ 20000ට ළංවෙයි

Shiran Viraj

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවාගැනේ

Shiran Viraj