mediahumanrights.lk
Entertainment Entertainment News News

මට රඟ පාන්න බෑ කියූ අධ්‍යක්ෂ අද වැඩ නැතිව වේ‍ෙළ­නවා ජන­ප්‍රිය රංගන ශිල්පී අමිල අබේ­සේ­කර

වසර ගණනාවකදීම ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හිමිකරගනිමින් මෙරට පුංචිතිරේ පෙම්වතා ලෙසින් රසිකයන් අතර ආදරය දිනාගෙන සිටින අමිල අබේසේකර මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙයි.කවදත් ජනප්‍රියත්වය එකලෙස රඳවාතබාගෙන සිටින මේ සුහද රංගන ශිල්පියා ගෙවුණු මතකයන් මෙසේ අවදි කළා.
ක්‍රිකට් සෙල්ලමට ප්‍රසිද්ධයි
මගේ උපන් ගම නුවර වුණත් පි‍යාගේ රාජකාරිමය අවශ්‍යතාවය මත අපි මහරගමට පදිංචියට එනවිට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. මට මතකෙ හැටියට ඒ වන විට මම පහ වසරෙ ඉගෙනුම ලැබුවා. මව, පියා,සහ සහෝදරයන් දෙදෙනයි අපේ පවුලෙ සාමාජිකයන්. මට බාල මල්ලිලා දෙදෙනකු නිසා අපේ පවුලෙ ඇතැම් සිදුවීම්වලදි මගේ කාර්යභාරය විශේෂිත වුණා. නුවරින් මහරගමට ඇවිත් මහරගම ජනාධිපති විදුහලට තමයි පාසල් ගියේ. ඒ කාලයේ මුහුණ දුන් සිදුවීම් ඇතැම් ඒවා ජීවිතේටවත් අමතක වන්නෙ නැහැ. වරක් අපේ පාසල ගම්පහ බණ්ඩාරනායක මහ විදුහල සමග 13න් පහළ ක්‍රිකට් තරගයක් පැවැත්වුවා.අපේ ටීම් එකේ දෙදෙනෙක් ඇරෙන්න ඔක්කොම හිච්චි කොලු පැටවු. බණ්ඩාරනායක එකෙන් ආපු ටීම් එකේ හිටියෙ 13න් පහළ වුණාට අවුරුදු 20ක විතර පෙනුම තියෙන සෙට් එකක්.ඒ කට්ටිය දැක්කම අපේ ටීම් එකම බයවුණා කොහොමද මේ කටිටිය එක්ක ගහල දිනන්නෙ කියල. ඒ ළමයි එක්ක ආපු අම්මලත් අපිව දැකල අයියෝ මේ කටිටියත් එක්කද අපේ ළමයින්ට සෙල්ලම් කරන්න වෙලා තියෙන්නෙ කියල බොහොම සතුටෙන් තමයි හිටියෙ.එහෙම කියපු අම්මලාට ඇඬෙන්න ගහපු හැටි අදත් මතකයි. අපි ඔක්කොම අවුට් වෙලා ලකුණු 92යි. ඒ කටිට්ය ලකුණු 76යි. එදා තමයි පාසල් යන කාලෙ ක්‍රිකට් සෙල්ලම්කරල වැඩිපුරම සතුටු වෙච්ච දවස. පාසලේ ළමයින් අතර ක්‍රිකට් සෙල්ලම්කළ නිසා ජනප්‍රිය චරිතයක්ව සිටියා .
බඩ පිරෙන්න ගුටි කෑවා
සා‍. පෙ ඉගෙනගන්න කාලෙ ස්කූල් කට් කිරීම බොහෝ සිසුන්ගේ පුරුද්දක්.මටත් ඒ පුරුද්ද තිබුණා. අපි යාළුවො කට්ටිය නාන්න යනවා, මැච් බලන්න යනවා, ට්‍රිප් යනවා. එහෙම ගමන් ගියා කියල කවදාවත් නරක දේවල් කළේ නෑ. එකවරක් අපි යාළුවො පස් දෙනෙක් දෙහිවල සත්තුවත්ත බලන්න ගියා. සෙට් එකේ එක යාළුවෙකුගෙ යාළු ගෑනු ළමයත් අපි එක්ක ගියා. ඒ දෙන්න වෙනම ගියා. අපි කොල්ලො කටිටිය වෙනම ගියා. එකපාරට යාළුවා ඉන්න පැත්තෙන් සද්දයක් ඇහෙනවා. බලනකොට ඔහු තවත් කොල්ලෙක් එක්ක වලියක්. අපිත් ඉතින් තරුණ ජවය පෙන්වන්න ඒ කොල්ලට අල්ලගෙන හොඳට ගැහුවා. මෙන්න එයා විෂිල් කළා විතරයි මුළු සත්තු වත්තෙම වැඩ කර කර සිටිය 20ක් විතර ඇවිත් අපිට නහයෙන් කටෙන් ලේ එන්න හොඳටම ගැහුවා. පස්සෙ කවුරු හරි පොලීසියට දැනුම් දීලා දෙහිවල පොලීසියට අපිව අරන් ගියා.පොලීසියෙන් අපි පාසල් ළමයි කියල නිදහස් කරල මට කීවා සූ එකේ දාල ආපු බෑග් ටික ගිහින් ගේන්න කියල. ඒ වෙලාවෙ මගෙ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. ‍ආපහු ගියොත් හොඳටම ගුටිකන්න වෙයි කියල හිතුණා. මොනව කරන්නද පොලීසිය කිව්වම නොගිහින් ඉන්න බෑනේ. බයෙන් බයෙන් ගියාට කවුරුත් මුකුත් කළේ නෑ. සමහර විට ඇතිවෙන්නම කලින් ගහපු නිසා වෙන්න ඇති.
ස්වර්ණවාහිනියෙදි බැනුම් ඇසුවා
1998 ස්වර්ණවාහිනියෙ නිවේද‍කයෙක් විදිහට වැඩකළ කාලය. ඒ වෙනකොට වෙළෙඳ දැන්වීම් දෙක තුනක පෙනීසිට තිබුනත් ඒවත් ඒතරම්ම ප්‍රසිද්ධ වෙලා තිබුනෙ නෑ. ඒ කාලෙ ස්වර්ණවාහිනියෙ කමර්ෂල් එකකට මාවත් ගත්තා පොඩි කොටසක් තවත් ගෑනු ළමයෙක් සමග රඟපාන්න. මට ඒ ගෑනු ළමයට කියන්න තිබුණෙ මම ඔයාට ආදරෙයි කියලා විතරයි . මම ඉතින් දන්න විදිහට ඒක කිවුවට ඒකෙ අධ්‍යක්ෂකට ඒක හරි ගියේනෑ. එකපාරටම ඔහු ඔයාට රඟපාන්න බෑ, මොනවද ඔය කරන්නෙ කියල කෑගැහුව.මට මාර දුකයි ඈතට වෙලා ගොඩක් වෙලා කල්පනා කරල ඒ දැන්වීමෙන් ඉවත් වුණා.එදා හිතා ගත්තා කවද හරි මම ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් වෙනවා කියා. ඔහු එදා ක්ෂේත්‍රයේ ‍නම ගිය අධ්‍යක්ෂවරයෙක් වුවත් අද වැඩ නැතිව වේලෙනවා දැක්කම දුකයි. මම එදා එකදෙයක් හිතාගත්තා ඒ කවදාවත් කිසිම කෙනෙකුගෙ සිත රිදෙන විදිහට කතාකරන්නෙ නෑ කියල.අදටත් ක්ෂේත්‍රයට එන නවක සහෝදර සහෝදරියන්ට මම රඟපාන රූ ගත කිරීමකදී නම් සිත්රිදවීමක්වත් වෙන්න ඉඩ තියන්නෙ නෑ.මොකද එදා මට දැනුන ඒ දුක, අපහසුව වෙන කෙනකුට දැ‍නෙනවට කැමති නැති නිසයි.
බලෙන්ම කන්න දුන්නා.
මා රඟපෑ පළමු ටෙලිනාට්‍ය 2000දි විකාශය වුණේ. පසුව 2001දි විතර රඟපෑ තුන්වන ටෙලිනාට්‍ය රූගතකළේ කල්පිටිය බීච් එකේ.ඒ කාලෙ අද වගේ මටම කියලා වාහනයක් නොතිබුණු නිසා හැමෝම යන වාහනයෙන් තමයි රූ ගත කිරීම්වලට යන්නේ. අපි යන වාහනයේ ඇදුම් බෑග් දාන්න දෙන්නේ නෑ.ඒ නිසා අනිත් වාහනයට බෑග් එක දාන්න කියලා නවතින තැනට ගියා.වාහනය ආවට බෑග් එක ගෙනත් නෑ. ආපහු ගියා බීච් එකට ගිහින් බෑග් එක හෙව්වත් තිබුණෙ නෑ. මොනව කරන්නද මට තිබුණු හොඳම ඇඳුම් ටික ඒකෙ තිබුනෙ. මාර දුකයි ටික දවසක් යනකම් හරියට ඇඳුමක් තිබුණෙ නෑ අඳින්න. කල්පිටියෙ බීච් එක අවට ජීවත්වෙච්ච අය හැමදාම එනව අපේ රූගත කිරීම් බලන්න. ඒ අයගෙ පල්ලියෙ උත්සවයකට අපි සියලුම දෙනාට ආරාධනා කළා එන්න නාවොත් වැල්ල පැත්ත පළාතෙ එන්න දෙන්නෙ නෑ කියල. එදා රූගත කිරීම් නැති දවසක් අපි කම්මැලිකමට යන්නෙ නැතුව ලොජ් එකට වෙලා හිටිය. මෙන්න එකපාරටම මිනිස්සු කට්ටියක් ඇවිත් අපිව ඇදන් හිටපු ඇදුම් පිටින්ම බලෙන් එක්කගෙන ගියා. අපිට හොඳට කෑම බීමෙන් සංග්‍රහ කළා.ඒ රූගතකිරීමත් ඒ මිනිස්සුත් කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඇත්තටම අපිට ආදරය කරන ඒ වගේ අවංක මිනිසුන් ඉන්නව කියල දැනුනම රංගන ශිල්පියෙක් වීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්.
රසිකාවියකට හිත ගියා
දවසක් මගේ යෙහෙළියක් කීවා ඔයාට මාර කැමැති රසිකාවියක් ඉන්නව එයා නිතරම ඔයා ගැන අහනව කියල. මම කිව්ව එයාගෙ නම්බර් එක දෙන්න මම කතාකරන්නම් කියල. ඇය මට ‍නොම්බරේ දුන්නත් සතියක් යනතුරුම මට ඒ දුරකථනයට ඇමතුමක් දෙන්න බැරි වුණා. ඒ කාලෙ ජංගම දුරකථන ආපු අලුත නිසා හැමෝ ළඟම ඒ කාලෙ ජංගම දුරකථන තිබුණේ නෑ. දවසක් මට හිතිල අර දුන්න අංකයට ඇමතුමක් ගත්තා. එහා පැත්තෙන් අමතපු ගෑනු ළමය මගේ නම කිව්වම ගැස්සිලා වගේ තව පැය දෙකකින් කතාකරන්න කීවා. හරියටම පැය දෙකකින් කතා කළා. ඇය ගුවන් සේවිකාවක් නිසා මාසයක් යන තුරු අපට හමුවෙන්න බැරි වුණා. මාසයක් පුරාවට රූපය නොදැක දුරකථනයෙන් කතා බහ කළා. ඇයව දැකපු මුල්ම දවසෙ හිතා ගත්ත කවද හරි මම කසාද බදින්නෙ ඇයව තමයි කියල. ඒ විදිහට 2003 සිට 2005 වනතුරු ආදරය කර 2005දි විවාහ ගිවිසගත්තා. 2010දි තේජා මගේ බිරිය කරගෙන අදත් අප දෙදෙනා සතුටින් කාලය ගත කරනවා.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයි

Shiran Viraj

අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ

Shiran Viraj

දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දික

Shiran Viraj