mediahumanrights.lk
News Political

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

සමගි ජන බලවේගය කිසිසේත්ම සතුරු බලවේගයක් ලෙස නොසලකන බවත්, ඉදිරියේ දී එම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

“සමගි ජන බලවේගය සමග අපි අවබෝධතා ගිවිසුමක් 2020 මාර්තු 18 වෙනිදා අත්සන් කළා. එහි තිබෙන ප්‍රධාන කරුණු දෙකක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයෝ හත් දෙනාගෙන් ඒ මැතිවරණයට විනය කටයුතු වල ප්‍රධාන බලය ජාතික හෙළ උරුමයට හා හිමි වෙනවාය කියන එක. ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ලැබෙනවාය කියන එකත් ඒ වගේම යම්කිසි ප්‍රතිපත්තිමය පරස්පරතාවයක් ඇති වුණොත් එහෙම ස්වාධීනව දෙපාර්ශවයම කටයුතු කරන්න එකඟ වෙනවා කියන එකත් ඒකේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා. හැබැයි අපි කිසිම අවස්ථාවක ඒක එළියට ගන්නවත් අපි ඉදිරියට ගේන්නවත් බලාපොරොත්තුවක් නෑ. අපට ඒ අයිතිය කොහොමත් තිබුණා. නමුත් අපි කල්පනා කළා එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වෙලා තිබිච්ච ආවේණික අඩුපාඩු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පවුල්වාදය පාදඩ වාදය මුල් කරගත්ත ආවේණික අඩුපාඩු වෙනුවට මේ රටට විකල්පයක් හැටියට මාක්ස්වාදයත් නොවන අන්ත ලිබරල් ධනවාදයත් නොවන මධ්‍යස්ථ මතයක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, රටේ දේශීය සංස්කෘතිය හඳුනාගත්, රටේ දැන උගත්, මිනිස්සුන්ට ගැළපෙන, අලුත් තරුණ පරපුරට ජෙන්-ඉසෙඩ්  එකට ගැලපෙන  දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි කියන පදනමේ ඉඳගෙන තමයි අපි බලාපොරොත්තු දල්වා ගත්තේ සමගි ජන බලවේගය ගැන. නමුත් ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු නොවිච්ච බව සියලු දෙනාටම පෙනෙනවා. දැනෙනවා. ඉතින් ඒ අනුව අපි ඉල්ලීමකුත් කරා අපි සමගි ජන බලවේගයට එක් වෙන්න. නමුත් අපි දැන් අපගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරලා තියෙනවා.අපි සමගි ජන බලවේගය නැමැති පක්ෂයට එකතු වීමේ නැති බව අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා.”

රටේ ඇතිවූ අරගලකාරී තත්ත්වයත් සමග සර්ව පාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවක් ගොඩ නැගෙනු ඇතැයි සිතු නමුත් සිදුවුයේ එවන් දෙයක් නොවේ. සර්වපාක්ෂික අන්තර්කාලින ආණ්ඩුවක් යනු

  1. පත්වන අගමැතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, සහ එම පක්ෂ සන්ධානගත වී තිබෙන පක්ෂ, එක්ව සාකච්ඡා කර පොදු වැඩපිළිවෙලක් සකස් කරගැනීම.
  2. ඒ සියලු පක්ෂ හා පක්ෂ නායකයින් නියෝජනය වන ජාතික සභාවක් ඇති කරගෙන පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ තීන්දු වලට එළඹීම.
  3. පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සඳහා 224 ක් වූ මන්ත්‍රීවරුන්ම අමාත්‍යංශවල අධීක්ෂණ කාරක සභාවලට බෙදා වෙනකොට පක්ෂ විපක්ෂ සියලු දෙනාම අමාත්‍ය කාර්යභාරයට දායක වීම.
  4. බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ හිතවතුන්, අතිශය දූෂිත නිලධාරීන් වෙනුවට, වෘත්තීය මට්ටමේ නිලධාරී පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලු රාජ්‍ය ආයතනවලට පත් කොට, ඔවුනට යම් ඉලක්කගත වැඩපිළිවෙලක් ලබාදීම

“ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පුළුල් සාකච්ඡා මණ්ඩපයක්  ඇති කරගන්න. පුළුල් සංවාදයක් ඇති කරගෙන වෘත්තීය මට්ටමේ පිරිස් එකතු කරගෙන අර අන්තර්ජාතික මුල්‍ය අරමුදල දෙසට යොමු වී තිබෙන මාර්ගය කඩා බිඳ වැටුණොත් යා යුතු මග කුමක්ද කියලා. මේ අර්බුදය අපි අවස්ථාවක් කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථික පදනම ශක්තිමත් කරගැනීමට, දේශීය වශයෙන් ආර්ථික බලයක් නැවත ගොඩනඟා ගැනීමට හැම ක්ෂේත්‍රයකම ගොඩනගා ගැනීමට යොදා ගත යුතුයි කියන මතයේ ඉඳගෙන ඒ ඒ හා සමානව හිතන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්  වගේම පිටතින් ඉන්න අරගලයට සම්බන්ධ වී ඉන්න පිරිස්, වෘත්තීයවේදීන් සමග සංවාදයක් ගොඩනගා ගනිමින් රටෙන් පලා නොගොස් මේ රට ගොඩනගා ගැනීම සඳහා කැප වෙන්න කැමති සෑම කෙනෙක් එක්කම පුළුල් වේදිකාවක් තනා ගැනීම තමයි අපි අරමුණු කරගෙන තියෙන්නේ. ඒක පටු අරමුණක් නෙවෙයි. සමගි ජන බලවේගය අපි මිතුරු බලවේගයක් කොටයි සලකන්නේ. එහි අනාගත පියවර මත, අපේ තීරණය වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න රාජපක්ෂ විරෝධී අවංක පිරිස් සියල්ලටම අපි ආරාධනා කරනවා. දැන් ඇති ඔය බලවේගෙන් අත් මිදිලා මේ රට නව මාවතකට ගෙනියන්න අපි එකට අත්වැල් බැඳගමු. එක ගමනක් යමු. පවුල්වාදයටත්, පාදඩ වාදයටත් එරෙහිව අපේ මව්බිම ගලවා ගැනීම සඳහා මෙහෙයුමක් කරන්න. අපි එකතු වෙමු” යනුවෙන් රණවක මහතා ආරාධනාවක් ද කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පාඨලී චම්පික රණවක මහතා විසින් ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

  1. දැනට තිබෙන රජයේ වැඩපිළිවෙලට සහය දෙනවද වෙනත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවද?

21 වැනි සංශෝධනය වැනි, 19 වැනි සංශෝධනයට සමාන්තර දේශපාලන ප්‍රතිසංස්කරණවලට අපේ සහයෝගය ලැබෙනවා. අපේ වැඩපිළිවෙලට රජය යම් කැමැත්තක් දක්වනවා නම්, ආණ්ඩුවට අපි ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒවට අනිවාර්යෙන් සහයෝගය දක්වනවා. ඒ වගේම ආණ්ඩුවට අපි ගල් පෙරලන්න බලාපොරොත්තුවක් නෑ. හැබැයි අගමැතිතුමා සාධාරණ කාලයක් තුළ මේවා ඉෂ්ට කළ යුතුයි. විශේෂයෙන්ම 21 වෙනි සංශෝධනය වැනි දෑ එළඹෙන ජූලි මාසය ඇතුලේ ඉෂ්ට කරගත යුතුමයි.  මේ දැනට රටේ අරගලය නතර වෙලා නෑ. අරගලයේ විරාමයක්. අපායේ මේක අපායේ ඉන්ටවල්. ඒක නිසා ආයේ මේ අරගලය මීටත් වඩා භයානක ආකාරයේ ප්‍රචණ්ඩ තත්වයන් වලට ගෙන ඒම එන්න පුළුවන්. සමහර පිරිස් ඒක සංවිධානාත්මකවත් කරන්න පුළුවන්. ඒ නිසා අපි එයට සූදානම් විය යුතුයි. ඒ නිසා පළමුව අපි ආණ්ඩුවේ සමහර දේවල් වලට අපි එකඟ නොවුණත් අපි ඒවට බාධා කරන්න යන්නෑ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුයි මේක කරන්න. හැබැයි සාධනීය දේවල් වලට අපි සහයෝගය දෙනවා.

  1. ආණ්ඩුවට සහය ලබාදෙන්න තනතුරකට ආරාධනා කළොත් භාරගන්නවද?

ආණ්ඩුවේ විධායක ක්‍රියාදාමයන් වලට පූර්ණ වශයෙන් සර්වපාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් නොවන ආණ්ඩුවක සේවා කරන්න අපි ලෑස්ති නෑ. හැබැයි පාර්ලිමේන්තුව තුළ පිහිටුවන අතුරු කමිටු වලට අධීක්ෂණ කාරක සභා වලට අපි සහභාගී වෙනවා.

43 සේනාංකය විසින් ආරම්භ කරලා තියෙනවා, රටට විකල්ප වැඩපිළිවෙලක් හදන්න. අපි ඒකේ ඡායාමාත්‍ර සංකල්පීය අදහස පසුගියදා ජනගත කළා. ඉදිරි කාලයේදී විවිධ ක්ෂේත්‍රවල කල යුතු දේ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලවල් හදලා ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම නොකිරීම ඔවුන්ගේ වගකීමක් වුණත් මේ රටේ සමාජයට ඒක ජනගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

  1. දැන් මේ යන ක්‍රමය අනුව අපිට මේ රටට මේ රට යහපත් තත්ත්වයකට ගෙනියන්න පුළුවන් වෙයිද?

කවුරුහරි පැය 48 න් ගෑස් පෝලිම් නතර කරන්න පුළුවන්. අපි ආවහම ඩොලර් වැසි වහිනවා. ඒ වගේම අපි ආවහම මිත්‍ර රටවල් අපට මුදල් දෙනවා කියලා. ඒක අමූලික බොරුවක්. මේ රට වැටිලා තියෙන මේ තත්ත්වය ඇතැම්විට තව දශකයක් උනත් පවතින්න පුළුවන්. අපි විධිමත්ව කටයුතු නොකළොත්. මොකද බංකොලොත් රටවල් වල ඉරණම ඒකයි ලෙබනනය, ග්‍රීසිය වැනි රටවල් ගත්තට පස්සේ. ඒ නිසා අපි මෙතනදී අපක්ෂ, පාට, කාරණා, අපේ මතවාද පොඩ්ඩක් පසෙකට දාලා, මව්බිම ගලවගන්න, අපේ දුක්විඳින ජනතාව ගලවගන්න, ජනතාවට ඇත්ත කියලා ඒ වගේම මහපොළවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගොඩනගා ගැනීමට කැපවීම වඩාත් සුදුසුයි.

  1. පක්ෂ පාට නැතිව වැඩ කරන්න නම් ආණ්ඩුව ඇතුලට යන්න වෙනවා නේද?

ඒ වැඩේ කරන්න බෑ. මොකද ඒ වටපිටාව නොමැති නිසා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. මොකද අපිට අත්දැකීම් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, මම 2010 විදුලිබල හා බලශක්ති ඇමති වුණා.  මාස හයක් ඇතුළත, මගේ කණ්ඩායමත්, මමත්, ලංකා විදුලිබල මණ්ඩලය ලාභ කළා. හැබැයි, මගේ අමාත් යාංශයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, රටේ ජනාධිපතිවරයා. මට වැඩ කරන්න දුන්නේ නෑ. ඒ ආයතනය විනාශ කරන්න, පාඩු කරන්න, වැඩ වර්ජන මෙහෙයවන්න පවා ගමන් කළා. එවැනි තත්වයන් වලට මුහුණ දෙන්න අපි සූදානම් නැහැ. වගවීමක් සහිත සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් තියෙනවා නම් ඒකට අපේ යම් දායකත්වයක් කරන්න පුළුවන් කියලා රට විශ්වාස කරනවා නම් ඒකට දායක වෙන්න ඕනම වගකීමක් දරන්න අපි ලෑස්තියි.

  1. බැසිල් අයින් වෙලා ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට එන එක ගැන මොකද හිතන්නේ?

ධම්මික පෙරේරා මහත්මයත් ආණ්ඩුවේ වගකීම් දැරුවා. ආයෝජන මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කළා. ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කළා. ඔහුත් විටින් විට නොයෙක් දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. රට ගොඩනැගීමේ වැඩපිළිවෙල. ඉතින් ඔහු මොකක්ද කරන්නේ කියලා අපි බලමු. මම හිතන්නෑ. ඔහුගේ පුද්ගලික ධනයට හෝ ඔහුගේ පුද්ගලික හැකියාවට මේ බංකොලොත් රට ගොඩනගා ගැනීමට තියෙන වැඩසටහනට ඔහුට හැකිවෙයි කියලා දායකත්වයක් ලබා දෙන්න. හැබැයි ඒක ඔහුගේ පුද්ගලික තීරණයක්. ඔහුව දැන්ම විවේචනය කරන්න අපි ඉදිරිපත් විය යුතු නෑ.

බැසිල් රාජපක්ෂ මහත්තයා තවත් රඟපෑමක්ද දන්නෑ කරන්නේ. මේ අවස්ථාවේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙන් ගැලවෙන්න. බැසිල් මහත්තයා විතරක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක, මේ සියලු පාර්ලිමේන්තුවේන් ඉවත් වෙලා දේශපාලනයෙන් ඉවත් වීම තමයි ලංකාවේ මේ මොහොතේ මේ පවතින තත්වයට තියෙන යුක්ති සහගත විසඳුම්. මොකද යුක්ති සහගත විසඳුම කියන්නේ මේ පවුල තමයි මේ රට මෙතෙන්ට වැට්ටුවේ. අපේ දරුවොත් අපිවත් 1960 ට අරන් ගියේ.  නැවත වතාවක් අපේ මිනිස්සුන්ට පයින් යන්න, බයිසිකලෙන් යන්න, හරක්ගෙන් කුඹුරු හාන්න වෙලෙන් වතුර ටික බීලා, ඇලෙන් නාන්න සකස් කළේ. විදුලිය නැති රටක් හැදුවේ මේ පවුල. මේ පවුල තමන්ගේ ධනය උපයාගෙන තියෙනවා 2300 දක්වා. ඒ නිසා යුක්ති සහගත විසඳුම තමයි මොවුන් ඉවත් වීම. ඉතින් ඔහු සද්භාවයෙන් ඉවත් වෙලා, ඔහුගේ මව් රටට යනවා නම්, රට ලොකු උදව්වක්.

  1. විදුලි ඉංජිනේරුවෝ ගත්තු තීරණය හරිද?

ඒ අය ප්‍රකාශ කරලා තියෙනවා කරුණු හතරක්. ඔය විදුලිබල පනත ගැන, අදානිට ඔය ව්‍යාපෘති පැවරීම ගැන. ඒ වගේම සභාපති ක්‍රියාකලාපය ගැන ආදී කරුණු හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. මම කියන්නෑ ඉංජිනේරුවෝ කියන 100% ම අපි එකඟ වෙන්න ඕනයි කියලා. යුක්ති සහගතභාවයක් තියෙනවා නම්, හැකිතාක් දුරට, ඒවත් එක්ක සාකච්ඡා කරලා, සම්මුතියෙන් ඉදිරියට යාම තමයි සුදුසු. විශේෂයෙන්ම, මේ රටේ අනාගතය තියෙන්නේ, අද මේ තියෙන අර්බුදයට විසඳුමක් තියෙන්නේ, පුනර්ජනනීය බලශක්තිය, සූර්ය බලය, ඒ වගේම සුළං බලය අපි කොයිතරම් දුරට අපේ පද්ධතියට ගොඩනගා ගන්නවද? විදුලිබල මණ්ඩලය පුළුවන් තරම් පිටරටින් ගේන ඉන්ධන වෙනුවට දේශීය ඉන්ධන ප්‍රභවයන් වෙතට යොමු වෙනවද කියන කාරණය ගැන. හැබැයි ඒක තනි මතයට ඉන්දියාවේ සමාගමකට ලබා දෙනවා කියන්නේ ඒක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ආණ්ඩුව කියන්නේ ඒක පනතට පටහැනි නෑ. මොකද දැනට අපි දැක්කා අදානි සමාගම ලිපියක් ලියනවා. ඒගොල්ලන්ට මෙගා වොට් 6000 යි  ඕනෙයි කියලා. ලොකු විශාල ගානක්. ඒ කියන්නේ තව අවුරුදු  තිහක්වත් යනවා ඒ වගේ තත්වයකට ලංකාව පත්වෙන්න. මොකද අපේ දැන් ඉල්ලුම 2700 යි. වැඩිම ඉල්ලුම දවසක. ඒ හින්දා තව අවුරුදු තිහකට මේ රටේ පුනර්ජනනීය බලය විදේශීය සමාගමකට ලබාදීම කිසිසේත් අනුමත කරන්න බෑ. මොකද දේශීය කර්මාන්තකරුවෝ සිය ගානක් මෙතන ඉන්නවා. මේ කටයුත්ත කරන්න පුළුවන්. ඊළඟට මේක රජයන් දෙකක් අතර එකක් වෙන එක අපිට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයයි, ඉන්දියානු රජයයි අතර ව්‍යාපෘතියක් කරන්නේ කොහොමද? ඉතින්  මේක නවත්තන්න ඕන. අපිට ප්‍රශ්න තියෙන බව ඇත්ත. ඉන්දියාව අපිට උදව් කරන එක ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. හැබැයි අපේ බලශක්ති ස්වෛරීත්වය, අධානි සමාගමට පැවරීම ගැන අපි තරයේ විරුද්ධයි. අදානි සමාගම තරඟකාරී පදනමෙන් එනවා නං ඔව් සූදානම් ඒක පිළිගන්න. හැබැයි මේ අපිට උදව් කරන සල්ලි වලට, හිලව්වට අදානි සමාගමට, අපේ බලශක්ති ස්වෛරීත්වය ඒගොල්ලන්ගේ ගණන් හිලව් වලට ලබාදීමට අපි තරයේ විරුද්ධයි. ඒ අවබෝධතා ගිවිසුම වහාම ආණ්ඩුව ආපසු හරවගන්න ඕනේ. මොකද මෙගාවොට් 6500 ක් එකවර ලබාදෙන්න කිසිම අයිතියක්, නිත්‍යානුකුල අයිතියක්, පනතට අනුව, ආණ්ඩුවට නෑ.

Related posts

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගන්න දෙමළ පක්ෂ නියෝජිතයින් උතුරේ දී සාකච්ඡාවක

Shiran Viraj

ඕනෑම මැතිවරණයකට සූදානම්

Shiran Viraj