mediahumanrights.lk
Local News News

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් ගැසට් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැඩබලන ලේකම් ජි.එම්.ඩබ්ලිව්.පි.ජයතිලක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
අධිකරණ නිලධරයන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් මෙතෙක් ගැසට් කර නොතිබු අතර පසුගිය 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සුදුසුකම් ගැසට් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු වැනි ශ්‍රේණියේ  මහේස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් ගැසට් කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.
අවුරුදු දෙකකට නොඅඩු සේවා කාලයක් ඇති කම්කරු විනිශ්චය සභා සභාපතිවරයෙකු වීම හෝ අවුරුදු 5කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තීයේ යෙදි සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම ඒ සඳහා සුදුසුකම් ලෙස ගැසට් කර තිබේ.
ඊට අමතරව යම් අමාත්‍යාංශයක හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ රාජ්‍ය  සංස්ථාවක අවුරුදු 5කට නොඅඩු කාලයක් නීති නිලධරයෙකු ලෙස සේවය කර ඇති නිතීඥවරයෙකු වීම හෝ යම් සමාගමක බැංකුවක හෝ ආයතනයක නීතී නිලධරයෙකු ලෙස අවුරුදු පහකට නොඅඩු කාලයක් සේවය කර ඇති එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අදාළ තනතුර සඳහා සුදුසුකම් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඊට අමතරව කම්කරු විනිශ්චයාධිකාරී සභාපති දෙවන ශ්‍රේණියේ තනතුර සඳහා වන සුදුසුකම් ද ගැසට් කර තිබේ.
අවුරුදු පහකට නොඅඩු කාලයක් ක්‍රියාකරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, යම් අමාත්‍යාංශයක හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ රාජ්‍ය සංස්ථාවක අවුරුදු පහකට නොඅඩු කාලයක් නීති නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ තනතුර සඳහා  සුදුසුකම් වේ.
එමෙන්ම යම් සමාගමක බැංකුවක හෝ ආයතනයක නීති නිලධරයෙකු ලෙස අවුරුදු පහකට නොඅඩු කාලයක් සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද කම්කරු විනිශ්චයාධිකාරී සභාපති දෙවන ශ්‍රේණියේ තනතුර සඳහා සුදුසුකමක් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

Shiran Viraj

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්

Shiran Viraj