ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, බංග්ලාදේශයේ ශ්රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා 2026 ඔක්තෝබර් 18 වැනිදා ඩකා හි ගුල්ෂාන් පිහිටි DCCI කාර්යාලයේදී ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (Dhaka Chamber of Commerce and Industry – DCCI) සභාපති තස්කීන් අහමඩ් මහතා හමුවිය.
ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය යනු බංග්ලාදේශයේ ප්රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ ව්යාපාරික සංවිධානයක් වන අතර, එය විශේෂයෙන්ම ඩකා නගරයේ ව්යාපාරිකයන් සහ ව්යවසායකයන් නියෝජනය කරමින් ප්රතිපත්තිමය උපදේශනය, ව්යාපාරික සබඳතා සහ රාජ්ය-පෞද්ගලික අංශ සහයෝගීතාව හරහා වෙළෙඳ, ආයෝජන හා කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටියි.
මෙම සාකච්ඡාවේදී ඖෂධ, තොරතුරු තාක්ෂණය (IT), පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් සේවා (logistics), සංචාරක සහ අනෙකුත් නැඟී එන ක්ෂේත්රයන්හි දෙරටේ ව්යාපාරික ප්රජාව අතර නව අවස්ථා උදාකර දෙමින් ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන වැඩිදියුණු කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරිණි.
මෙහිදී මහකොමසාරිස් වීරක්කොඩි මහතා 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ ප්රමුඛතම ජාත්යන්තර වෙළෙඳ ප්රදර්ශනය වන “Sri Lanka Expo 2027” පිළිබඳව DCCI සභාපතිවරයා දැනුවත් කළේය. දෙරටේ ව්යාපාරිකයන්ට වෙළෙඳ, ආයෝජන සහ වාණිජ හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට මෙම ප්රදර්ශනය විශාල වේදිකාවක් වන බැවින්, ඊට බංග්ලාදේශ ව්යාපාරික නියෝජිත පිරිසකගේ සහභාගීත්වය ලබාදෙන ලෙස මහකොමසාරිස්වරයා එහිදී ආරාධනා කර සිටියේය.
එම යෝජනාව සාදරයෙන් පිළිගත් DCCI සභාපතිවරයා, “Sri Lanka Expo 2027” සඳහා බංග්ලාදේශ ව්යාපාරික නියෝජිත පිරිසක් සහභාගී කරවීමට ධනාත්මක ප්රතිචාරයක් දැක්වූ අතර, එමඟින් දෙරටේ ව්යාපාරික අතර සබඳතා ශක්තිමත් කිරීමටත් ද්විපාර්ශ්වික වෙළෙඳාම පුළුල් කිරීමටත් හැකිවන බව පෙන්වා දුන්නේය.
දෙරටේම කෘත්රිම බුද්ධි (AI) ක්ෂේත්රයේ සිදුව ඇති ප්රගතිය පිළිබඳව අදහස් දැක්වූ DCCI සභාපතිවරයා, බංග්ලාදේශ විද්යා හා තාක්ෂණ අමාත්යාංශය (MoST) සමඟ එක්ව DCCI සංවිධානය කරන “Bangladesh AI Business Summit 2026” සඳහා සහභාගී වන ලෙස ශ්රී ලංකාවට ආරාධනා කළේය. මෙම සමුළුව 2026 නොවැම්බර් 05 වැනිදා ඩකා හි ෂෙර්-ඊ-බංග්ලා නගර්හි පිහිටි බංග්ලාදේශ-චීන මිත්රත්ව සම්මන්ත්රණ මධ්යස්ථානයේදී (BCFCC) පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පෞද්ගලික අංශයන් අතර සෘජු සබඳතා වර්ධනය කර ගැනීමේ සහ තිරසාර ආර්ථික වර්ධනයක් උදෙසා නව සහයෝගිතා ක්ෂේත්ර හඳුනා ගැනීමේ වැදගත්කම ද මෙම හමුවේදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට ඩකා හි ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් ගයංග දියස්, DCCI උපසභාපති සලීම් සුලෙයිමාන් ඇතුළු DCCI හි ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

