මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (National Cyber Security Operations Centre – NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 10 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා CERT ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම සාකච්ඡාවේදී, රාජ්‍ය යාන්ත්‍රණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව අවධානය යොමු විය.
නූතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු හුදු තාක්ෂණික කරුණක් පමණක් නොවන බවත්, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ප්‍රමුඛ අවශ්‍යතාවක් බවත් මෙහිදී අවධාරණය කෙරිණි. රාජ්‍ය ආයතන සතු සංවේදී දත්ත සහ තොරතුරු පද්ධති විවිධ සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා NCSOC මධ්‍යස්ථානය හරහා ඒකාබද්ධ නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
මෙමගින් රාජ්‍ය ආයතනවල ඩිජිටල් යටිතල පහසුකම්වල පවතින දුර්වලතා හඳුනා ගැනීමටත්, සිදුවිය හැකි සයිබර් තර්ජන පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීමටත් අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී විශ්වාසනීය සහ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම මෙවැනි පියවරක් හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

