mediahumanrights.lk
Local NewsNews

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් වෙත ලබාදුන් රූපවාහිනී තිර (Smartboards) 230කට ආසන්න ප්‍රමාණයක්, ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විනාශ වී යාමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. USAID ආයතනයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ඩිජිටල් ස්මාර්ට් බෝඩ් මගින් පර්යන්ත රෝහල්වල සිටින වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට, ප්‍රධාන රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දුරස්ථ වෛද්‍ය උපදේශන ලබා දීමට සැලසුම් කර තිබුණි. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සහ දුර්වල ව්‍යාපෘති කළමනාකරණය හේතුවෙන් මෙම වැඩසටහන අසාර්ථක වී ඇති බවයි. දැනටමත් මෙම රූපවාහිනී තිරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2023 ජනවාරි මස නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව, මෙම උපකරණ භාරගෙන රෝහල් ඉන්වෙන්ටරි පද්ධතිවලට ඇතුළත් කර ස්ථාපිත කරන ලෙස උපදෙස් දී තිබුණද, කොටි ගණනක් වටිනා මෙම සම්පත් තවමත් ඇතැම් රෝහල්වල ගබඩා තුළ භාවිතයට නොගෙන දිරාපත් වෙමින් පවතින බව වාර්තා වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම සඳහා විදේශ පුහුණුව පවා ලැබූ තොරතුරු තාක්ෂණ වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ බස්නාහිර පළාතට පමණක් සීමා වී සිටීම නිසා මෙම ව්‍යාපෘතිය අඩාල වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් චෝදනා කරයි. තාක්ෂණික දැනුම සහිත වෛද්‍යවරුන් දිවයින පුරා විසිරී නොසිටීම හේතුවෙන් මෙවැනි නවීන තාක්ෂණික මෙවලම්වලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට සෞඛ්‍ය පද්ධතිය අපොහොසත් වී ඇත. සම්පත් අවභාවිතය වැළැක්වීමට සහ රෝගීන්ට මෙම පහසුකම් ලබාදීමට කඩිනම් මැදිහත් වීමක් අවශ්‍ය බව වෘත්තීය සමිති අවධාරණය කරයි.

Related posts

පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්

Shiran Viraj

ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..

Shiran Viraj

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj
Translate »