mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයි

හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට ලැබී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, අදාළ වාර්තාව අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරිපාලන කටයුත්තක් බැවින් එහි සම්පූර්ණ අන්තර්ගතය ප්‍රසිද්ධ කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම වාර්තාවෙන් පසුව ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන්නේ මෙම වරද සිදු කළ පුද්ගලයා හඳුනා ගැනීමට පමණක් නොව, මෙවැනි නුසුදුසු අන්තර්ගතයක් ඇතුළත් කිරීමේ මූලික අරමුණ සහ ඒ පිටුපස පවතින සැබෑ චේතනාව හෙළි කර ගැනීමට බව ද ඔහු අවධාරණය කළේය. මෙය හුදු අතපසුවීමක් ද නැතහොත් වෙනත් සැලසුම් සහගත ක්‍රියාවක් ද යන්න පිළිබඳව එහිදී අවධානය යොමු කෙරේ.

මෙම පරීක්ෂණ කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී ඇති බව ද විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. වගකිවයුතු රජයක් ලෙස අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය උපරිම පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

Related posts

අද ගත් ගෑස් සිලින්ඩරයක් කාන්දු වෙයි.. ආපසු ගන්න සමාගම දන්වා නෑ…

Shiran Viraj

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Shiran Viraj

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Shiran Viraj
Translate »