mediahumanrights.lk
NewsPolitical

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආණ්ඩුව අගාධය කරා අධිවේගී ගමනක…

බැසිල් රාජපක්ෂ මහතා ග්‍රාමසේවක වසම් 14,000 ක වැඩ ලක්ෂයක් ආරම්භ කර ඇත. අය වැය අනුව මෙවර ප්‍රාග්ධන වියදම ගිය වසරට (2021) වඩා දෙගුණයකි. ආසන්නයෙන් බිලියන 1000 කි ! එය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම හා එයට වැඩ ලක්ෂය ද ඇතුළත්ව ඇත. ඒ අතරේ මහා මාර්ග ඇමතිතුමා එක දිගට විවිධ වෙනස්කම් කරමින්, කැබිනට් පත්‍රිකා දමමින් අධිවේගී මාර්ග පද්ධතිය තව තවත් දිගු කිරීමට යෝජනා කරමින් ඇත. ඒ අනුව කුරුණෑගල, දඹුල්ල අධිවේගී මාර්ගයට බලාපොරොත්තු වූ එංගලන්න (රවුටන්) අරමුදල් නොලැබීම නිසා එය ගලේවෙලට සීමා කර, චීන සමාගම් හවුලකට පවරා ඇත. කෙසේ වෙතත් රඹුක්කන-ගලගෙදර අධිවේගී මාර්ගය සඳහා ඉදිරිපත් වූ චීන සමාගම ඉවතලා එය දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඇත. මේ දේශප්‍රේමී තීරණයට හේතුව අදාල සමාගම (MCC) කඩවත-මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ උපකොන්ත්‍රාත්තු ඇමතිවරයාට රුචි අයුරින් වෙනස් නොකිරීමදැයි සොයා බැලිය යුතුය.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිතුමාට (විජේවර්ධන මහතා) අනුව (Colombo Telegraph) මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 කට ආසන්න හිඟයකි. මහ බැංකුවේ ගණුදෙනු කල හැකි විදේශ සංචිත ප්‍රමාණයද පවතින්නේ ඇ.ඩො.මි.500 ආසන්නයේය. මහ බැංකුවද ඇතුළුව, සියලුම බැංකු පද්ධති ගත්කල මෙය ඩොලර් බිලියන 4.5 කට ආසන්න හිඟයකි. එනම්, සෘණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයකි. මහ බැංකුවේ දත්ත පද්ධතියට අනුව 2022 පෙබරවාරි 03 දාට මහ බැංකුවේ රුපියල් හිඟය, රුපියල් බිලියන 579 කි ! මහ බැංකුවට අමතරව රාජ්‍ය බැංකු හා පුද්ගලික බැංකු වෙතින් ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතන ලබාගෙන ඇති ණය හා ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 5,000 කට ආසන්නය. මෙය රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු දේශීය වශයෙන් ලබාදී ඇති ණය වලින් 52%කි.

මහබැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතියට ඩොලරුත් නැත. රුපියලුත් නැත. ඒ අතරේ රටේ වාර්ෂික ආදායම මෙන් දෙගුණයකටත් අධික ප්‍රමාණයකින් ආණ්ඩුව බැංකු පද්ධතියට ණය වී ඇත.

ඒ තත්ත්වය යටතේ අධිවේගී මාර්ග සඳහා තවත් බිලියන සිය ගණන් මුදල් සපයා ගන්නේ කෙසේද ?

මේ සඳහා එක්තරා පුද්ගලික ණයවර සමාගමක් යොදාගැනීමට ද, එකී සමාගමට රජය සතු ‘සෙලෙන්දිවා’ දේපොළ ඇපයට තැබීමේ උත්සාහයක් ද වාර්තා වී ඇත. එනම් විදේශ අමාත්‍යාංශය, ගුවන් හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ලංකා බැංකු හා මහජන බැංකු මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක් ද ආණ්ඩුව සිදු කිරීමට යන්නේ ? අධිවේගී මාර්ග වියදමෙන් 1/3 ක් පමණ විදේශ වලින් ආනයනය කරනා, ඩොලර් වලින් ගෙවිය යුතු බිල් වන අතර ඒවාට කිසිදු බදු මුදලක් අය කරන්නේද නැත.

අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට අවශ්‍ය වුවත් අද රට හා ආණ්ඩුව වැටී ඇත්තේ අධිවේගී මාර්ග තැනීම කිසිම අයුරකින් ප්‍රමුඛතාවයක් කොට සලකන තත්ත්වයක නොවේ.

රටේ පැනඩෝල්, ඇන්ටිජන් කිට් ඇතුළු ඖෂධ 80 ක හිගයක් පවතී. තෙල් නැති නිසා විදුලි බලාගාර වැසී ඇත. තෙල් මිල සිතු සේ ඉහළ දමනා අතර විදුලිය කපා හැරේ. රටේ කිරිපිටි නැත. ගොවියාට පොහොර නැත. බඩුමිල සිය ඉතිහාසයේ වාර්තාගත ලෙස වැඩිවීම (25%) ජනවාරියේ වාර්තා කළේය. අධිවේගී මාර්ග හැරුණු කොට රටේ අනෙක් ඉදිකිරීම් සඳහා සිමෙන්ති හෝ යකඩ නැත. එන්න එන්නම ඩොලර් හා රුපියල් අර්බුදය උග්‍රවෙත්දී, ජනතාවට තෙල් හිඟනම් බයිසිකල් වලින් යන්නයැයි උපදෙස් දී අධිවේගී මාර්ගවලට තව තවත් රට ණය කරන්නේ ඇයි ? මේ කොමිස් සඳහා කරන සංවර්ධනයක් ද ? එසේ නම් මේ කොල්ලය නතර කරන්නේ කවදාද ?

ජනතාව, නිදහස් දා සිදුකළ කෝටි සිය ගණනක් වැය වූ ගිනි අවි සැණකෙලියට ජාතික කොඩි ඔසවන්නේ නැතිව අහිංසක විරෝධයක් පළ කළේය. එය සිදුවූයේ සුදුසු දිනයක් නම් නොවේ. නමුත් ජනතාව වැඩ ලක්ෂය හරහා ගමේ පොඩි හොරු ලක්ෂයක් තැනීමේ හා අධිවේගී මාර්ග හරහා මෙගා හොරු තැනීමේ ක්‍රියාවලියට ඉක්මනින්ම රතු කොඩිය එසවිය යුතුව ඇත.

– media unit

Related posts

මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්

Shiran Viraj

මංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයි

Shiran Viraj

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ

Shiran Viraj
Translate »