31.7 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsSportsSports News

කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් නීති තමන්න බෑ.. සමුගැනීම යලි සිතා බලන්න..- ඇමති නාමල් භානුකගෙන් ඉල්ලයි..

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.

තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

ඕනෑම ක්‍රීඩයකයකුට ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය ද අභියෝගාත්මකය. මේ සියලුදෙනා වෘත්තිමය ක්‍රීඩකයන් වේ. ඒ නිසා වෘත්තිමය ක්‍රීඩකයන් හැමවිටම එම වෘත්තිමය තත්ත්වයත් රැක ගැනීමටත් එය ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට ගරු කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව උදෙසා අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට අපි පසුගිය කාලයේ දී ක්‍රියා කළෙමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ තීන්දුවක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස ද පත් කෙරිණි. ඔහුගේ සේවය මේ වනවිට වයස අවුරුදු 19 පහළ ලෝක කුසලානය තරගාවලියේ දී අපගේ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් ද ලබා ගනිමින් තිබේ.

මේ අයුරින් ක්‍රිකට් ක්‍රීඩාව දියණුව උදෙසා මේ වනවිට දිගු කාලීන සැලැස්මක් සකස් කර ඇති අතර එය තාක්ෂණික වැඩපිළිවෙලකින් ද සමන්විතය. එය ක්‍රමවත්ව ඉදිරියට යාම තුළින් කෙටි කාලීන ජයග්‍රහණයන්ට වඩා කලක් පවතින ජයග්‍රාහී මාවතක් උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

වෘත්තිමය බැඳීම්වලට ගරු කරමින් ක්‍රීඩකයන්ට සිය පෞද්ගලික හේතුමත  ක්‍රීඩා කණ්ඩායමකින් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් තිබේ. එවැනි අවස්ථාවක එසේ ඉවත්ව යාමට ගන්නා තීන්දුව ක්‍රීඩකයාගේ තීන්දුවක් විය යුතුය.

ඇතැම් විට මෙවැනි තීන්දුවකට පරිපාලනය සමඟ ඇතිවන ගැටලුවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාවක් ඇත.

එසේ වුවද එක් ක්‍රීඩකයකු හෝ කිහිපදෙනෙකු පමණක් මුල්කරගෙන සමස්ත ව්‍යුහයම හෝ සමස්ත නීති පද්ධතියම වෙනස් කිරීමේ හැකියාවක් නැත. එවැනි මැදිහත්වීම් කළ විට සිදුවන්නේ සමස්ත ක්‍රියාවලියම කඩා වැටීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රිඩාවේ ජයග්‍රහණ උදෙසා සැලැස්මකට අනුව ක්‍රියාත්මක වනු දැකීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මා ඇතුළු සියලුම  ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම අනෙකුත් ක්‍රීඩාවන්හිදී ද ක්‍රීඩකයාගේ විනය මෙන්ම පරිපාලකයන්ගේ විනය සම්බන්ධයෙන් ද මා දැඩි ව සිටින බව සිහිපත් කළ යුතුය.

පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් ඔවුන්ට දඬුවම් නියම කෙරිණි. ඔවුන්ට නැවත ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලැබුණේ අදාළ දඬුවම් කාලය තුළ එම තීන්දුවට ගරු කරමින් හැසිරීම නිසාය. එම ක්‍රීඩකයන් වුවද නැවත වතාවක් විනය විරෝධීව රටට අපකීර්තියක් ගෙනන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා ක්‍රීඩා තහනමක් නියම කිරීම දක්වා වූ තීරණයකට එළැඹීමට වුවද මා මැලි නොවන බව සිහිපත් කරමි.

ඒ අනුව මින් පෙර දැරූ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුව නැති බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.

නාමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

Related posts

පන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.

Shiran Viraj

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Shiran Viraj

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

Shiran Viraj
Translate »