දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් හමුවේ අවතැන් වූ කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ වතු කම්කරු පවුල් 25ක්, මාස දෙකක කාලයක සිට එම වතුයායේම තාවකාලිකව ඉදිකළ කූඩාරම්වල දැඩි දුෂ්කරතා මධ්‍යයේ පදිංචිව සිටිති. මුලින් පොදු ස්ථානවල සහ වතුයායේ කෝවිලේ රැඳී සිටි මෙම පිරිසට පසුව රජය මැදිහත් වී මෙම තාවකාලික කූඩාරම් පහසුකම් සලසා දී ඇතත්, පවතින අයහපත් කාලගුණය හමුවේ ඒවායේ රැඳී සිටීම අවදානම් සහගත වී තිබේ.
අවතැන් වූ ජනතාව පවසන්නේ වැසි දිනවලදී සහ අධික සුළං පවතින අවස්ථාවලදී මෙම කූඩාරම් තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. රජය විසින් තමන්ට නව නිවාස ඉදිකර දෙන බවට පොරොන්දු වී ඇති අතර, එම පොරොන්දු කඩිනමින් ඉටු කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විශේෂයෙන්ම ඉදිරි දිනවලදී කොත්මලේ ප්‍රදේශයට තද වැසි සහ තද සුළං ඇති වීමේ අවදානමක් පවතින බැවින්, ඊට ප්‍රථම තමන්ව ආරක්ෂිත ස්ථිර ස්ථානයක පදිංචි කරවන ලෙස එම ජනතාව වැඩිදුරටත් අවධාරණය කරති.

