28.4 C
Colombo
2026-07-07
mediahumanrights.lk
Local NewsNews

නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 1975 දෙසැම්බර් මස ආරම්භ කරන ලද මෙම පිරිවෙනෙහි ආදිකතෘවරයාණන් වන්නේ අපවත් වී වදාළ පූජ්‍ය කීරපනේ ශ්‍රී සිද්ධාර්ථ ධම්මරතන නාහිමිපාණන් වහන්සේය. සංවත්සරයට සමගාමීව නාවලපිටිය දෙකිද මාර්ගය “කීරපනේ ශ්‍රී ධම්මරතන නාහිමි මාවත” ලෙස නම් කිරීම සහ පිරිවෙන් පුස්තකාලය “දෙකිද සීලරතන නාහිමි ගුණානුස්මරණ පුස්තකාලය” ලෙස නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

පිරිවෙන් අධ්‍යාපනයේ වැදගත්කම බලධාරීන් මෙතෙක් නිසි ලෙස හඳුනාගෙන නොමැති බව මෙහිදී අනුනායක හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ. උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කළේ, පිරිවෙන් අධ්‍යාපනය සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවයි. මහා නායක සහ අනුනායක හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව සකස් කෙරෙන මෙම නව පනත තව මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කර පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට රජය අපේක්ෂා කරයි.

විශේෂයෙන්ම මෙරට මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි පැරණි සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය, බෞද්ධ දර්ශනය, ත්‍රිපිටක ධර්මය සහ පාලි, සංස්කෘත වැනි භාෂා අධ්‍යාපනය නැවතත් විධිමත් ලෙස පිරිවෙන් පද්ධතියට හඳුන්වා දීමට නියමිතය. ඒ හරහා පෞරුෂවත් ධර්මධර භික්ෂූන් වහන්සේලා මෙන්ම භාෂාන්තර විශාරදයන් බිහි කිරීමේ වගකීම ඉටු කරන බව ධම්මාලෝක හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ. නාවලපිටිය සිරි ධම්මරතන පිරිවෙන ද මෙම උතුම් අරමුණ උදෙසා අනුස්මරණීය සේවාවක් ඉටු කරන බව එහිදී ප්‍රශංසාවට ලක් විය.

මෙම උත්සවය සිරි ධම්මරතන මහ පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය කැන්දගොල්ලේ සුදම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ කෘත්‍යාධිකාරී පූජ්‍ය කන්තලේ සුමංගල හිමියන්ගේ සංවිධානයෙන් පැවැත්වුණි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ මහත්මිය, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්

Shiran Viraj

සිරිකොත එජාප මූලස්ථානයේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අධිකරණයට

Shiran Viraj

රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Shiran Viraj
Translate »