2026-02-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

ලෝකයේ කිසිවෙකුට පරාජය කළ නොහැකි යැයි පැවසූ ත්‍රස්තවාදය මෙරට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පරාජය කළද, එම අභිමානය ජාතික නිදහස් දිනයේදී ප්‍රකාශ කිරීමට වත්මන් රාජ්‍ය නායකයාට සහ රජයට ආත්ම ශක්තියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු අවධාරණය කළේ ත්‍රස්තවාදය පරාජය කිරීම ජාතිවාදය නොවන බවත්, රජය ඩයස්පෝරාවේ අවශ්‍යතා මත කටයුතු කරමින් ජාතික ආරක්ෂාව සහ රණවිරු අභිමානය හෑල්ලුවට ලක් කරන බවත්ය.

වරාය සංවර්ධනය පිළිබඳ රජයේ වත්මන් ස්ථාවරය අගය කළ මන්ත්‍රීවරයා, එදා තම රජය වරාය ඉදි කරන විට ඊට දැඩි ලෙස විරුද්ධ වූවන් අද ඒවායේ වැදගත්කම කතා කිරීම සතුටට කරුණක් බව සඳහන් කළේය. එහෙත් ජාත්‍යන්තර බුද්ධි වාර්තා තිබියදීත් මත්ද්‍රව්‍ය සහිත බහාලුම් (කන්ටේනර්) නිදහස් කිරීම සහ ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකිරීම සම්බන්ධයෙන් ඔහු රජයට චෝදනා කළේය. දේශපාලන පළිගැනීම් සඳහා රජය සතු 159ක බහුතර බලය යොදා ගන්නා බවත්, ඒ වෙනුවට දේශපාලන පළිගැනීමේ පනතක් ලෙස අලුත් නීතියක් හදා ගැනීම වඩාත් සුදුසු බවත් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

ආගමික නායකයන් විවේචනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද නාමල් රාජපක්ෂ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. මහා සංඝරත්නය සිරගත කරමින් සහ ආගමික නායකයන්ට නිසි ගරුත්වයක් ලබා නොදෙමින් රජය කටයුතු කරන බවත්, උතුරේ ජනතාවගේ හා ඩයස්පෝරාවේ හදවත් දිනා ගැනීමට දකුණේ ජනතාව විවේචනය කිරීම සාර්ථක නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ජාතික නිදහස් දිනයේදී යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමට රජය පසුබට වීම ජාතික ආරක්ෂාව පිළිබඳ පවතින දුර්වලතාවයක් ලෙස ඔහු හැඳින්වීය.

මීට අමතරව, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ධීවරයන්ට පහර දීම, දිට්වා කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට රජය ලබා දුන් චෙක්පත් අගරු වීම වැනි කරුණු සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා රජයට චෝදනා එල්ල කළේය. රටේ පවතින සාමකාමී වාතාවරණය බිඳ දමමින් ජාතිවාදය අවුස්සන ක්‍රියා කලාපයන්ගෙන් වැළකී, ආගමික නායකයන්ට සවන් දීමට පුරුදු වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

Related posts

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj

මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලි

Shiran Viraj

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Shiran Viraj
Translate »