කොළඹ අලුත්කඩේ පිහිටි නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම ප්‍රතිසංස්කරණය කරන ලද සංකීර්ණය හුදු ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් පමණක් නොව, යුක්තිය, සාධාරණත්වය සහ ප්රජාතන්ත්රවාදී පාලනය ශක්තිමත් වන සමාජයක් සඳහා වන ජීවමාන සාක්ෂියක් බවයි.
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ යුවාන් මිලියන 229ක මූල්‍ය හා තාක්ෂණික ප්‍රදානයක් යටතේ මෙම නවීකරණ ව්‍යාපෘතිය නිම කර තිබේ. 1988 වසරේදී චීන රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023 වසරේදී ආරම්භ වූ අතර, එහි පළමු අදියර ලෙස අභියාචනාධිකරණ කොටස පසුගිය වසරේදී විවෘත කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසාන ආරක්ෂකයා වන ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව මහජන විශ්වාසය තහවුරු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
නුතන ප්රජාතන්ත්රවාදය තුළ අධිකරණය යනු ප්රජාතන්ත්රවාදයේ හවුල්කරුවෙකු බවත්, නීතියට ගරු කරන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය මෙන්ම පුරවැසියන් ද සාමූහික වගකීමකින් කටයුතු කළ යුතු බවත් නානායක්කාර මහතා පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව, නීතියේ ආධිපත්‍යය සුරැකීමට රජය සතු දේශපාලන කැමැත්ත ද ප්‍රදර්ශනය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong, නීතිපති පාරින්ද රණසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. නවීකරණය කරන ලද සංකීර්ණයේ යතුර අග්‍රාමාත්‍යවරිය විසින් අගවිනිසුරුතුමා වෙත සංකේතාත්මකව භාරදීම ද මෙහිදී සිදු විය.

