28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්

ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ බලධාරීන්ගේ අදූරදර්ශී තීරණ සහ දූෂිත ක්‍රියාකලාපයන් හේතුවෙන් මහජනතාවට මෙම දැවැන්ත පාඩුව විඳ ගැනීමට සිදුව ඇති බවයි. 92 පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල් මිල රුපියල් දෙකකින් පමණක් අඩු කිරීම ජනතාව “ගසා කෑමක්” බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

පාලිත මහතා පවසන පරිදි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 29,963ක් මාස 8 සිට 15 දක්වා කාලයක් අනීතික ලෙස ගබඩා කර තැබීම නිසා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 600කට අධික ප්‍රමාණයක් වාෂ්ප වී තිබේ. මෙම වාෂ්ප වූ ඉන්ධන තොගයේ වටිනාකම රුපියල් කෝටි 30ක් පමණ වන බවත්, මෙම මූල්‍ය විනාශය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. මීට අමතරව ඩීසල් වෙනුවට දැවීතෙල් පොළොව යට වළ දැමීමෙන් අධික පාඩුවක් සිදු කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් හේතුවෙන් බැංකුවලට ඩොලර් කෝටි දෙකකට අධික ණය මුදලක් ගෙවීමට ඇති බවත් ඔහු අනාවරණය කළේය.

පාලකයන්ගේ මෙවැනි අක්‍රමිකතා හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙන්වා දෙන පාලිත මහතා, රුපියල ස්ථාවරව තබා ගැනීමට රජය උත්සාහ කළ ද ඩොලරයේ අගය රුපියල් 313 දක්වා ඉහළ යාමට මෙවැනි දූෂිත ක්‍රියා හේතු වී ඇති බව පැවසීය. මෙලෙස ප්‍රමිතියෙන් තොරව ඉන්ධන ගබඩා කර ජනතාවගේ මුදල් කොල්ලකෑමට එරෙහිව බලධාරීන් වහාම පිළිතුරු දිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

2021 අයවැය නොවැම්බර් 17වනදා පාර්ලිමේන්තුවට

Shiran Viraj

ඉන්දියාවට එරෙහි තුන්වන ටෙස්ට් සංචිතයට දුෂ්මන්ත චමීර සහ ලහිරු ගමගේ කැඳවයි: හේරත් විවේක ගන්වයි

Shiran Viraj

ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

Shiran Viraj
Translate »