mediahumanrights.lk
NewsPolitical

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව උදය ගම්මන්පිල පවසයි

වත්මන් රජය හඳුන්වා දීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක “ට්‍රොජන් අශ්වයා” බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව යනු සමස්ත විනාශකාරී ක්‍රියාවලියක කුඩා කොටසක් පමණක් බවයි. අග්‍රාමාත්‍යවරිය තවමත් තමන් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු ලෙස සිතමින් සිය “එන්ජීඕ නඩය” සමඟ එක්ව මෙරට දේශප්‍රේමීත්වය සහ විනය විනාශ කිරීමට කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළේය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවම වශයෙන් ජාතික ජන බලවේගයේ අධ්‍යාපන කමිටු සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවා දැනුවත්ව නොසිටීම තුළ බරපතළ සැකයක් මතු වන බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. විද්වතුන්, ගුරුවරුන් හෝ සිය පක්ෂයේ අය පවා නොදන්නා මෙවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රහසිගතව ගෙන යාම පිටුපස විදේශීය කුමන්ත්‍රණයක් පවතින බව ඔහුගේ අදහසයි. “දරුවා වැදූ අම්මා අගමැතිනිය වුවද, එහි තාත්තා කවුදැයි නොදන්නා අවජාතක දරුවෙකු” ලෙස වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පත්ව ඇති බවට ඔහු දැඩි උපමාවක් ද භාවිත කළේය.

පෙළපොතේ පිටු කිහිපයක් ඉරා දැමීමෙන් පමණක් මෙම ගැටලුව විසඳිය නොහැකි බවත්, අග්‍රාමාත්‍යවරිය වහාම අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. එපමණක් නොව, අත්දැකීම් සහ බුද්ධිය රහිතව සිදු කිරීමට යන මෙම සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම වහාම හකුලා ගත යුතු බව ද ඔහු සඳහන් කළේය. ජාතියේ අනාගත අත්තිවාරම බඳු අධ්‍යාපනය සමඟ මෙලෙස සෙල්ලම් නොකරන ලෙසත්, මෙම ප්‍රතිසංස්කරණ අත්හැර දැමීම රජය රට වෙනුවෙන් කරන එකම යහපත් කාර්යය වනු ඇති බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

Shiran Viraj

රටටම බලය දෙමින් නොරොච්චෝල නැගිටී.. විදුලි කප්පාදුව අවසන්..

Shiran Viraj

ගම්පහ ව්‍යාපාරිකයාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »