mediahumanrights.lk
Local NewsNews

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවිය ඇතුළත් කිරීම පිටුපස දේශපාලන සබඳතා ඇති බවට චෝදනාවක්

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි ලිපිනයක් ඇතුළත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ දියණිය ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් අමිල සඳරුවන් මහතා අනාවරණය කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ නිලධාරියා මෙම කටයුත්තට සම්බන්ධ කර නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලිඛිතව දැනුම් දී තිබියදීත් එය නොසලකා හැර ඇති බවයි.

ලිංගික අධ්‍යාපනය රටකට අවශ්‍ය වුවද එය නිසි ප්‍රමිතීන් සහ නියාමනයන් යටතේ සිදු විය යුතු බව ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය. විශ්වවිද්‍යාලවල අධ්‍යාපන පීඨවල ආචාර්යවරුන් සම්බන්ධ කර නොගෙන, ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නොමැති සහ මූල්‍ය වංචා පිළිබඳ විගණන චෝදනා පවතින පුද්ගලයන් උපදේශක මණ්ඩලවලට බඳවා ගැනීම මෙම ප්‍රතිසංස්කරණ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුකාරී මොඩියුලය පාසල්වලට බෙදා හරින තෙක් ඒ පිළිබඳව කිසිදු පරීක්ෂාවක් සිදු කර නොමැති බවත්, ඒ පිළිබඳව මීට පෙර දැනුවත් කර තිබියදීත් නිසි පියවර නොගත් අධ්‍යාපන ලේකම්වරයා සහ අමාත්‍යවරිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් අමිල සඳරුවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ජාතික ජන බලවේගය සිය බල ව්‍යාපෘතිය තුළ මෙවැනි බරපතළ වගකීම් විරහිත ක්‍රියාවන් සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

Related posts

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj

මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහය

Shiran Viraj

පලස්තීන නේවාසික ගොඩනැගිල්ලක් විනාශ කරයි

Shiran Viraj
Translate »