28.9 C
Colombo
2026-02-04
mediahumanrights.lk
Local NewsNews

මාධ්‍යවේදී කල්ප ගුණරත්නගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයදියි

මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ නිල වශයෙන් සමාව අයැද තිබේ. පසුගිය ජනවාරි 02 වැනිදා මානව හිමිකම් කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයක් සහ කටඋත්තරයක් ලබාදෙමින් ඔහු මෙම සමාව අයැදීම සිදු කළ අතර, මාධ්‍යවේදියාට එරෙහිව පවරා ඇති පදනම් විරහිත නඩුව ඉල්ලා අස්කර ගැනීමට ද එහිදී එකඟතාව පළ විය.

2024 ඔක්තෝබර් 03 වැනිදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර සිදුවූ පහරදීමක් වාර්තා කිරීමට යාමේදී කල්ප ගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන පැය පහකට ආසන්න කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් ප්‍රනාන්දු සහ එවකට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ආලෝක සේනානායක යන මහත්වරුන් නම් කර තිබුණි. පසුව පොලිස් නිලධාරීන් තමන්ගෙන් සමාව අයදින්නේ නම් සහ අධිකරණයේ පවරා ඇති නඩුව අවසන් කරන්නේ නම් සමථයකට එළඹීමට මාධ්‍යවේදියා එකඟතාව පළ කර තිබුණි.

මෙම සමථයට අනුව කල්ප ගුණරත්න මහතාට එරෙහිව පවරා තිබූ නඩුව පසුගිය 05 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී. එහිදී නඩුව පවත්වාගෙන නොයන බව පොලිසිය දැනුම් දුන් නමුත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පෙන්වා දුන්නේ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිසි ක්‍රමවේදයට අනුව ලිඛිත දැනුම් දීමක් සිදු කළ යුතු බවයි. ඒ අනුව නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත ජනවාරි 26 වැනිදා කැඳවීමට නියම කළේය.

Related posts

පුංචි ඡන්දයේ පමාවෙන් ඩෙංගු වැඩි වෙනවා!

Shiran Viraj

ජූලි මසයේ සිට බස් ගාස්තු ඉහළ යයි

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj
Translate »