27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
BusinessBusiness NewsNews

මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (ජූලි 22) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය (Overnight Policy Rate – OPR) 7.75% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ගෝලීය හා දේශීය ආර්ථික ප්‍රවණතා හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බව මහ බැංකුව නිවේදනය කරයි. “වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් උද්ධමනය ඉදිරියේදී 5% ඉලක්කය කරා ගෙන යාමටත්, ආර්ථික වර්ධනයට සහාය වීමටත් උපකාරී වනු ඇතැයි මණ්ඩලය විශ්වාස කරයි,” යනුවෙන් මහ බැංකුව සඳහන් කළේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) චලනයන් අපේක්ෂා කළ පරිදි අවධමනකාරී තත්ත්වයන් තවදුරටත් පහව යෑමක් පෙන්නුම් කළේය. මෙම කාර්තුවේදී උද්ධමනය ධනාත්මක වනු ඇතැයි ද, ඉන්පසු 5% ඉලක්කය කරා ස්ථාවරව ඉහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන්ගේ ස්ථාවර ප්‍රකෘතියක් පිළිබිඹු කරමින් මූලික උද්ධමනය ඉදිරි මාසවලදී ක්‍රමයෙන් වේගවත් වනු ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

2025 පළමු කාර්තුවේදී ආර්ථිකය 4.8%ක ස්ථාවර වර්ධනයක් වාර්තා කර ඇත. “ප්‍රමුඛ ආර්ථික දර්ශකවලින් පෙනී යන්නේ මෙම වර්ධන වේගය කෙටිකාලීනව අඛණ්ඩව පවතිනු ඇති බවයි. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යළි පණ ගැන්වීමට සහාය වෙමින් මුදල් තත්ත්වයන් දිගින් දිගටම ලිහිල් විය. මෑත කාලීන ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට ප්‍රතිචාර වශයෙන් බොහෝ වෙළඳපොළ පොලී අනුපාත තවදුරටත් පහත වැටී ඇත.”

2025 වසරේ මේ දක්වා පෞද්ගලික අංශයට ණය ව්‍යාප්තිය ශක්තිමත්ව හා පුළුල් ලෙස පැවතුණි. මෙම පෞද්ගලික අංශ ණය ව්‍යාප්තිය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුළුල් වෙමින් පවතින වෙළඳ හිඟය හමුවේ බාහිර අංශය ඔරොත්තු දීමේ හැකියාව රඳවා ගත්තේය. සංචාරක ආදායම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් වර්ධනය විය. ණය සේවා ගෙවීම් හමුවේ ද දළ නිල සංචිත සෞඛ්‍ය සම්පන්න මට්ටමක පවත්වාගෙන ගියේය. මහ බැංකුව විසින් නිතිපතා සිදු කරන විදේශ විනිමය ශුද්ධ මිලදී ගැනීම් සමඟ සංචිත ගොඩනැගීමේ ප්‍රයත්න අඛණ්ඩව ක්‍රියාත්මක වේ. IMF-EFF හි පස්වන වාරිකය 2025 ජූලි මස මුලදී ලැබී ඇත.

ගෝලීය වශයෙන්, වෙළඳ භූ දර්ශනය වෙනස් වීම සහ නැවත නැවතත් ඇතිවන භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවයන් උග්‍ර වී ඇත. ගෝලීය අවිනිශ්චිතතාවයන් යථාර්ථයක් බවට පත්වීම පිළිබඳව මණ්ඩලය අවධානයෙන් සිටින අතර දේශීය සංවර්ධනයන් පිළිබඳ ලැබෙන දත්ත තක්සේරු කරනු ඇත. ආර්ථිකයට විභවය කරා ළඟා වීමට සහාය වෙමින් උද්ධමනය ඉලක්කය වටා ස්ථායී වන බව සහතික කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්තිමය පියවර ගැනීමට මණ්ඩලය සූදානම් ය.

Related posts

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත රජය නැවත සමාලෝචනය කරයි

Shiran Viraj

තරුණයෙකු ගුවන්යානයේ හදිසි දොරටුවෙන් පනී

Shiran Viraj

රතු මුහුදේ හුතී ක‍්‍රියා ලංකාවට තර්ජනයක් නම් ඊට එරෙහි ක‍්‍රියා කරනවා..- ජනපති

Shiran Viraj
Translate »