mediahumanrights.lk
NewsPolitical

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපතිවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණි.

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළේය.

අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.

පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අර්චුනා යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර්, කාදර් මස්තාන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

සුදුසුකම් සහිත පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන රටතුළ පිහිටුවිය යුතුයි

Shiran Viraj
Translate »