mediahumanrights.lk
Local NewsNews

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටන පළමු සැකකරු ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කරන ලෙසට ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට (29) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ප්‍රකාශ කළේ පළමු සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා සැකකරු බන්ධනාගාරගතව සිටින හේතුව නිසා ඔහු විශාදයෙන් මේ වන විට පෙළෙන බවත් එම නිසා ඔහු සියදිවි හානිකරගත හැකි බවටත් අධිකරණය වෙත පෙන්වා දීමෙන් අනතුරුවයි. ඒ අනුව එම නීතිඥවරයා සැකකරු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් අධිකරණය වෙත කැඳවා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිය දිවි නසා ගැනීමට ආසන්න අවස්ථාවකදී ඔවුන් හට ප්‍රතිකාර සිදුකරන්නේ කෙසේද යන්න විමසූ අතර ඒ අනුව මෙසෙ අංගොඩ මානසික රෝහල වෙත මෙම සැකකරුද යොමු කරන ලෙස ද නියෝග කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට නිසි ප්‍රතිකාර නොකළොත් පුර්ණ අංගවිකලතාවයකට පත්විය හැකි බවට ද අධිකරණය ඉදිරියේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටි අතර ඒ අනුව ඔහුට ඇප ලබා දෙන ලෙසට ද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේය. මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කරමින් ඔහුව වෛද්‍ය මණ්ඩලයට යොමු කර ඇති බැවින් එම වාර්තා ලැබුණු පසු ඇප ලබා දීම සඳහා ඉල්ලිම සලකා බලන බවට තීරණය කළාය.

මෙහි දී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය ඉදිරියේ කියා සිටියේ, මෙම සිද්ධියේ දෙවන සැකකරු අධිකරණය නොමඟ යවමින් කටයුතු කර ඇති අයුරු මේ වන විට අනාවරණය වී ඇති බවත්, එම සැකකරු මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල සිටම පළවන සැකකාර සැපයුම්කරු හට නිසි ප්‍රමිති සහතික නොමැති බවට හොඳ අවබෝධයකින් සිට ඇති බවට විමර්ශනයේදී හෙළි වූ බවත් කියා සිටියා ය. එම නිසා අනෙක් ඇප මත සිටින සැකකරුවන්ට සේම දෙවන සැකකරුටද කොන්දේසි පැනවීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

කෙසේවෙතත් අධිකරණය මෙම අවස්ථාවේදී අභියාචනාධිකරණ නියෝගයට පටහැනි නියෝගයක් සිදු නොකිරීමට තීරණය කරමින් එම ඉල්ලීම මෙම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළේය.

මෙම සිදුවීමට අදාළ දෙවනි සැකකරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ලබා දුන් නියෝගය විවරණය කළ අධිකරණය පැවසුවේ මෙම සිදුවීමට අදාළව සැකකාරභාවය සම්බන්ධයෙන් නියෝගයක් සිදුකර නොමැති බැවින් ඔහු මේ වන විට මුදාහැර ඇති බැඳුම්කරය මතම ඊළඟ නඩුවාරය වන නොවැම්බර් 29 අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

එ අනුව ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළ අධිකරණය අනෙක් සැකකරුවන් හට නොවැම්බර් 29 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

– Reporter

Related posts

මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ගැන පොතක්

Shiran Viraj

යතුරුපැදි සහ ත්‍රිරෝද රථත් හෙට සිට වමෙන් යා යුතුයි

Shiran Viraj

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Shiran Viraj
Translate »