28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..

අප සියලු දෙනා සමරනු ලබන්නේ LTTE සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ හෝ වෙනයම් පුද්ගලයෙකුගේ මරණයක් නොවන බවත් LTTE සංවිධානයේ මරණයත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය හා රටේ සමස්ත ජනතාවට ලැබුණු අපිරිමිත මිනිස් නිදහස බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 2009 මැයි 18 වන දින තිස්වසරක යුද්ධය නිමා කොට අදට වසර 15 ක් පිරිම නිමිත්තෙන් රණවිරු ගුණ සමරු පදනම මගින් බොරැල්ල පොදු සුසාන භුමියේ රණවිරු ස්මාරකය අභියස සංවිධානය කර තිබූ ‘රණවිරු සැමරුම’ සඳහා සම්බන්ධ වෙමිනි.

එම අවස්ථාව සඳහා රණවිරු ගුණ සමරු පදනමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා, යුධ හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා, විරු පවුර සංවිධනයේ සභාපති කපිතාන් ගයාන් විතානගේ මහතා ඇතුළු තිස්වසරක යුද්ධය නිමා කිරීම සඳහා අභීතව තම රණවිරුවන් මෙහෙයවූ රණවිරු නායකයන් බොහෝ දෙනෙක් සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“ප්‍රභාකරන් මර්දනය කරන්නේ කොහොමද කියන එක ගැන විශාල කතිකාවතක් 1974 ඉඳන්ම තිබුණා. 1987 ඉන්දීය හමුදාව ලංකාවට ඇවිල්ලා උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ ලක්ෂයකට අධික පිරිසක් සාමසාධක හමුදාවක් නමින් ක්‍රියා කළා. LTTE සංවිධානය අවි අතහැරලා පළාත් සභා පිළිඅරගෙන ප්‍රභාකරන් මම සාමයට ආවයි කියලා ප්‍රකාශ කළාම, ජයවර්ධන ජනාධිපතිතුමා ජාතිය අමතලා ජූලි 29 වෙනිදා “අද බදාදා ලබන සඳුදා වෙනකොට රටේ අවි ආයුධ තියෙන්නේ ආරක්ෂක හමුදා අත පමණයි. රට මින් පස්සේ විශාල සාමකාමී යුගයකට පිවිසෙනවායි” කියලා කිව්වහම අපි හැමෝගෙම හිත්වල විශාල සතුටක් ඇති වුණා. නමුත් ජයවර්ධන ජනාධිපතිතුමා සඳුදා දවස ආවේ නෑ. ප්‍රභාකරන් අවි භාර දුන්නට ඉන්දීය හමුදාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. 1200 කට අධික ඉන්දීය සෙබළු මෙහි මියගියා. ඒ අනුව කේන්කාවෝ කියන RAW ඔත්තු සේවයේ ප්‍රධානියා ශ්‍රී ලංකාව අරභයා කළ ඒ මෙහෙයුම ඛේදවාචකයකින් අවසන් වුණා. එහි අවසානය තමයි 1991 දී රජිව් ගාන්ධි මැතිතුමා ඝාතනය කිරීම.”

“අපි දැක්කා රිවිරැස මෙහෙයුම ඇවිල්ලා යාපනය මුදාගත්තත්, කිලිනොච්චියේ භයානක විපත්තියක් වුණා. ඒ වගේම මුලතිව් කඳවුර වට කරලා පහර දුන්නා. පුනරින් අල්ලගත්තා මේ වගේ ප්‍රභාකරන් පාලනය කරන්න බෑ කියන තත්වයක් ඇතිවුණා. අන්න ඒ නිසයි අපි නැගී සිටින්නේ. අපි හැම ආකාරයකින්ම ඒගොල්ලන්ට අවස්ථාව දුන්නා. ඉන්දීයවට අවස්ථාවක් දුන්නා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවස්ථාවක් දුන්නා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අවස්ථාවක් දුන්නා. රෝහණ විජේවීර මහත්තයටත් අවස්ථාවක් දුන්නා මේ රටේ. එතුමන්ලා මොකද කළේ? මව්බිම නැත්නම් මරණය කියලා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා එකක් හැදුවා. ඉන්දියන් හමුදාවත් පන්නලා. රටේ ඒකීයභාවය ආරක්ෂා කරගන්න. හමුදා සෙබළු 600 කට අධික පිරිසක් ඝාතනය කළා. සිවිල් වැසියන් 6000 කට අධික පිරිසක් ඝාතනය කළා. 60,000 කට අධික පිරිසක් හමුදාව අතිනුත් ඒ වගේම අතුරු හමුදා අතිනුත් ඝාතනය වුණා. අන්තිමට රෝහණ විජේවීරගේ ඉරණම තීරණය වුණේ 1989 නොවැම්බර් මාසේ 13 වෙනිදා බොරැල්ල කනත්තේදී වෙඩි තබලා පුළුස්සලා මරලා.”

“ඒ වගේම අපිට පේනවා අපේ ආරක්ෂක හමුදාවල අය, විශ්‍රාමික පිරිස්, ඒ වගේම මියගිය පිරිස් වල පවුල්වල අය අද මේ ආර්ථික අර්බුදයෙන් අතිශය වේදනාවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම විධිමත් නොවන විදියට හමුදාව එක දිගටම බඳවගෙන ගිය නිසා, හමුදාවෙන් දස දහස් ගණන් පලා යනවා. පාතාල ලෝකෙට, එහෙම නැත්නම් කුලී හමුදාවන් වල සේවය කරන්න විදේශ වලට අපේ මේ පිරිස ගමන් කරමින් ඉන්නවා. මේක එකම සමාජ ඛේදවාචකයක්. LTTE සංවිධානයේ 12,600 ක් නිදහස් කලා. අපි දැක්කා මුලතිව් වලට. කිලිනොච්චියට, මන්නාරමට ගියාම ඒ අය සමාජයෙන් කොන් වෙලා, ජීවිතය ගැටගහගන්න කොච්චර අමාරුවෙන්ද ඉන්නේ කියලා. ඒගොල්ලන්ගෙනුත් සමහරු පාතාල ලෝකෙට එක්කහු වෙලා, එහෙම නැත්නම් ඇෆ්ගනිස්ථානයේ ඉඳන් මත්ද්‍රව්‍ය ගෙන එන්න මැදිහත් වෙලා, ඉන්දියාවේ හැම තැනකම ත්‍රස්ත ක්‍රියා වලට උපකාර කරන පිරිසක් බවට පත්වෙලා තියෙනවා. ඒක නිසා අපි දැන් බුද්ධිමත්ව ආපහු හිතලා බලලා ගමන් කරන්න ඕන. ”

“අද මේ රටේ උතුරේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. නැගෙනහිර අර පලා ආපු මුස්ලිම් ජනතාවට තමන්ගේ ගොවිබිම්වල, ධීවර බිම්වල දැන් අවුරුදු පහළොවක් වැඩ. සිංහල ජනතාව, බොහෝ දෙනෙක් ආපහු ගියේ නෑ. නමුත් මේ පළාත්වල සාමකාමීව ජීවත් වෙනවා. දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් විදේශගත වුණා. ඒ අයත් දැන් නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා.”

“අපි මතක තබා ගත යුතුයි සිංහල ජාතිවාදය කිව්වට අමිර්තලිංගම් මහත්තයාගේ ඉඳන් සියලුම දෙමළ ජාතික නායකයෝ ඝාතනය කළේ සිංහල ජාතිවාදීන් නෙමෙයි ප්‍රභාකරන්. ඒ වගේම ඔවුන්ගේ දේශපාලනය තහනම් කළෙත් ඔහු. ඒ වගේම අද මේ ආර්ථික අර්බුදය හැත්තෑ පස් වසරක සාපය කිය කිය කතා කරන අයටත් කියන්න ඕනි මේ කැරැල්ල නිසා රටට අහිමි වුණා ඩොලර් බිලියන 200 ක්. ඒ බව කියන්නේ ඉන්දීය රජතාන්ත්‍රිකයෙක් වන ශිවශංඛ මෙනන්. එතුමා ලියපු පොතේ LTTE වෙනුවෙන් වෙනම චැප්ටර් එකක් තියෙනවා. ඒ චැප්ටර් එකේ කියලා තියෙනවා මේ ගැටුම නිසා සිංගප්පූරුවක් වෙන්න තිබිච්ච ලංකාව විනාශයට පත් වුණා. ආර්ථිකය 1978 – 1981 වෙනකොට 7% – 8% නැගගෙන ආපු ආර්ථිකය 1987 වෙනකොට 1% වැටිච්ච තත්ත්වයට සම්පූර්ණ වගකියන්න ඕනේ මේ ගැටුමට මැදිහත් වෙච්ච අය. ඩොලර් බිලියන 200 ක් කියන්නේ අද අපේ රටේ මුළු ණය බර වගේ පස් ගුණයක්. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අපේ දේශපාලනඥයෝ ඒ වගේම LTTE සංවිධානයේ නායකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ඒ වගේම ඉන්දියාවේ ඔත්තු සේවාවනුත් මේ අර්බුදයට එක විදිහට වගකිවයුතු බව.”

“අපි අතීතයට දඬුවම් දෙන්න ගියොත් මේ තුවාල පැහැරෙනවා. අතීතයට දඬුවම් දෙනවා නම්, අපි කුමාරන් පද්මනදන්වත් ඒ වගේම ආරක්ෂක හමුදාවල අයත් දේශපාලන නායකයොත්, ජනතා විමුක්ති පෙරමුණත්, ඉන්දියානු ඔත්තු සේවයත් එක අධිකරණ භූමියක විත්තිකාරයෝ බවට පත් කරලා තමයි නඩු අහන්නේ. එහෙම නඩු අහන්න හැකියාවක් අද රටේ නැහැ. ඒක නිසා අපි මේක අමතක කරලා අනාගතය කරා යන්න ඕනේ. මේ ගැටුමෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට. යුක්තිය ඉෂ්ඨ කරගන්නා අතරේ ශ්‍රී ලංකා යුධ හමුදාව තවදුරටත් මේ ලක්ෂ ගණනක හමුදාවක් හැටියට පවත්වාගෙන යාමෙන් පලක් නෑ. ශ්‍රී ලංකා යුද හමුදාව අනුක්‍රමයෙන් සුහුරු හමුදාවක් බවට පරිවර්තනය කරගන්න ඕන. ඒ වගේම නවීන යුධ ක්‍රියාවලියට මුහුණ දෙන්න පුළුවන් හමුදාවක් බවට පත් කරගන්න ඕනේ. යුක්රේනයට ගිය අපේ සෙබළු හිතුවේ මේ වන්නි සටන වගේ එකක් කියලා. නෑ. ඒගොල්ලන්ට මුහුණ දෙන්න වුණේ ඩ්‍රෝන ප්‍රහාර වලට. ඒක තමයි ලෝකයේ අනාගත යුද්ධය. ඒක නිසා ඒවට උචිත වෙන විදිහේ යුධ හමුදාවක්, නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් ඒ වගේම පොලීසියක් අපි ඇති කරගන්න ඕනේ.

පොලිසිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයක් අපේ ශ්‍රී ලංකා පොලිසියේ නායකත්වයෙන් ලැබිලා තියෙන්නේ. ත්‍රාඩ දේශපාලනයක හිරකාරයෝ බවටයි අපේ පොලිසිය පත්වෙලා තියෙන්නේ. දිනෙන් දිනම සමාජ වෛරයටයි ඔවුන් පෙළඹෙන්නේ. ඒ සියලු දෙනාම ගලවාගෙන මේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම යුක්තිය ඉෂ්ට වෙන, මියගිය අයට ගරු කරන සමාජයක් ඇති කිරීමට අපි කැපවෙමු. දැන් අපි අනාගතය ගොඩනගන්න. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර අපි සියලුදෙනාම අත්වැල් බැඳගෙන ඉදිරියට යමු. එතනදි අමතකම කරන්න බැරි කොටසක් තමයි, මේ යුද්ධයේදී ඇස්, ඉස්, මස් ලේ දන් දීලා, කැපවීම් කළ, රණවිරුවන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. මේ රට මේ ආර්ථික අර්බුදයෙනුත් ගොඩගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යවසායකත්ව සමාජයට නායකත්වය ලබා දීම සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ.”

– Media unit

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Shiran Viraj

මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..

Shiran Viraj

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි

Shiran Viraj