28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපති

භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ, කීර්තිමත් අධ්‍යාපනඥ දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි.

ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

විදුහල්පතිවරුන් දහසකට ග්‍රන්ථය පිළිගැන්වීම සංකේතවත් කරමින් දස දෙනකුට ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙරට අධ්‍යපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ උදෙසා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආර්. අයි. ටී අලස් මහතාගේ ද දැක්ම වු “සැමට අධ්‍යාපනය” ලබාදීමේ වගකීම ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.

මුදල් නොමැතිකමින් කිසිඳු සිසුවෙකුට උසස් අධ්‍යාපන වරම් අහිමි නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේපළ විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යවන යුගයද අවසන් විය යුතු බව පැවසීය.

මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට දායක වන පෞද්ගලික අංශයේ සියලුදෙනාට අවශ්‍ය සහය නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මේ රටේ සියලු දෙමාපියන්ගේ බලාපොරොත්තුවයි. මෙම අධ්‍යාපනය සිංහල සහ දෙමළ වලට පමණක් සීමා කළ නොහැකියි. ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන්, චීන, අරාබි, කොරියන් ආදී සියලු භාෂා දැනුමෙන් අපේ දරුවන් සන්නද්ධ කළ යුතුයි.

රටේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීම වෙනුවෙන් 2030 වන විට සැමට ඉංග්‍රීසි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට සැලසුම් කර තිබෙනවා. එසේම විශ්වවිද්‍යාල සිසුන්ට ද ඉංග්‍රිසි දැනුම ලබාදීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා ද අවශ්‍ය වැඩපිළිවෙළ අප සකසනවා.

මෙරට උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අද මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන බව පැවසුවත් උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් රට හැර යනවා. ලෝකයේ රටවල් රැසක අපේ දරුවන් උසස් අධ්‍යාපන කටුතුවල නිරතවි සිටිනවා. එම රටවල ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමවේදය අපේ රටේද ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළයුතුයි.

නිදහස් අධ්‍යාපනය යනු විශ්වවිද්‍යාලවලට ගෙවීමට මුදල් ලබාදීම කියා ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා. නමුත් අනෙක් රටවල නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයට නොවෙයි. අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිසුන්ට සහනදායි ණය මුදල් ලබාදෙනවා. එවිට සිසුවාට අයිතියක් තිබෙනවා තමන් කැමති විශ්වවිද්‍යාලය තෝරා ගැනීමට. අපේ රටේ එය තෝරා දෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්. නමුත් අප කටයුතු කළයුත්තේ ශිෂ්‍යයන්ට අවස්ථාව ලබාදීමටයි. එසේම මුදල් නිසා රටේ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් අහිමි විය යුතු නැහැ.

අප මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව වැඩි කළ යුතුයි. එසේම දැනට තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඉහළ නැංවිය යුතුයි. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය පහසුකම් ලබාදී වසර 05ක් තුළ එම ප්‍රගතිය ලබා ගැනීමේ ඉලක්කයක් අප ලබා දෙනවා. එවිට එහි අධ්‍යාපනය ලබන සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ වගේම ජෙනරාල් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයට සමාන තාක්ෂණ විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ සමඟ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අප අවස්ථාව ලබා දෙනවා. මේ පළපුරුද්ද සමඟ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස මම වෛද්‍ය හර්ෂ අලස් මහතාට යෝජනා කරනවා.

මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායි ණයක් ලබා දෙනවා. එවිට ඉඩම් විකුණා දරුවන් උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවීමට අවශ්‍ය වන්නේ නැහැ. රටේ විශ්වවිද්‍යාල වැඩිවීමත් සමග විදෙස් රටවල සිසුන් ද මෙරටට පැමිණෙනවා.

එසේම ලංකාවෙන් පිටවු දෙමළ ඩයස්පෝරාවට සහ සිංහල ඩයස්පෝරාවට මම කියනවා රට ගැන කැක්කුමක් තිබෙනවා නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස. අලස් මැතිතුමා ඒ සඳහා මාර්ගය පෙන්වා දී තිබෙනවා. රටේ සියලු දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. මීට දායකවන පෞද්ගලික අංශයේ සියලුදෙනාට සහාය ලබාදීමට ආණ්ඩුව සූදානම් බවත් මම මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

Related posts

ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

Shiran Viraj

ඒකාධිපතියෙකුට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කිරීම නම්බුයි..- ෆොන්සේකා

Shiran Viraj

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 55,000ට ආසන්නයි

Shiran Viraj