mediahumanrights.lk
Local NewsNews

විදුලි බිල යළි වැඩිවුණොත් ඇඟලුම් කම්හල් වැසෙයි.. රැකියා නැතිවෙයි..

විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා ගෙන යෑමේ අවදානමක් මතුවන බව නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා පැවසීය.

මෙරට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් මේ මස සිය කර්මාන්තශාලා තුනක් වසා දමා ඉන්දියාවට යෑමට සැලසුම් කර ඇති බවත් ඉන් එම කර්මාන්තශාලා තුනේ සේවය කරන 5000 ක පමණ සේවකයන්ට රැකියා අහිමි වන බවත් ඒ මහතා කීය.

දැනටමත් එම ආයතනය ඉන්දියාවට සහ මාලදිවයිනට යෑමට කැමති සේවකයන්ට පාලනාධිකාරියට දැනුම් දෙන ලෙස දන්වා තිබෙන බවද රත්නායක මහතා කීය. විදුලි ගාස්තු දෙගුණයටකත් වඩා වැඩිවීම නිසා එම ආයෝජකයන්ගේ ලාභය අඩුවී ඇති බවත් තවදුරටත් විදුලි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු වැඩි වුවහොත් මෙරට කර්මාන්තශාලා පවත්වාගෙන යෑම නිෂ්ඵල දෙයක් ලෙස සලකා ඔවුන් මෙරට කර්මාන්තශාලා වසා දමා වෙනත් රටකට යෑමට තීරණය කර ඇති බවද හෙළිවේ.

දැනටමත් සැලකිය යුතු කර්මාන්තශාලා ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවත් සේවක කප්පාදුව සහ අතිකාල නැවතීම ඇතුළු කප්පාදු කිරීම් සිදුව තිබෙන බවත් ඔහු කීය. ගාස්තු වැඩි කිරීමෙන් පසුවත් විදුලිය කප්පාදු කිරීම නිසා කර්මාන්තශාලාවල අඛණ්ඩව සේවාවන් පවත්වාගෙන යෑමට නොහැකිවීම ද ගැටලුවක් බව හිමිකරුවන් පෙන්වා දෙන බව පැවසූ ඒ මහතා වැසී ගොස් ඇති කර්මාන්තශාලා පිළිබඳ තොරතුරු ආයෝජන මණ්ඩලයේවත් නැතැයි ද කියා සිටියේය.

මෙරට නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදනවල මිල ඉහළ යන බවත් එම නිෂ්පාදන ලෝකයේ අනෙකුත් රටවල නිෂ්පාදන සමග තරග කිරීමේදී මෙරට නිෂ්පාදන මිලදී ගැනීම අඩුවී ඇති බවත් රත්නායක මහතා කීය. දැනට කම්කරු දෙපාර්තමේන්තුවේ නීතියට අනුව යම් ආයතනයක් වසා දැමීමේදී සේවකයකු සඳහා රුපියල් ලක්‍ෂ 12 සිට 25 දක්වා වන්දි ගෙවිය යුතු බවද කී ඒ මහතා පසුගියදා ජනාධිපතිවරයා විසින් මාස තුනක වන්දියක් ලබාදී සේවය අවසන් කිරීමට හැකි බව ප්‍රකාශ කිරීම පුදුමයක් බවද පැවසීය.

වන්දි ගෙවීමේදී සේවක භාරකාර අරමුදලේ ඇති මුදල්වලින් රක්‍ෂණයක් ඇතිකර ගෙවන බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු කීය.

චමින්ද සිල්වා
– Divaina

Related posts

ලක්ෂ 66ක දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

උතුර නැගෙනහිර ආපදාවන්ට පොලිස් මූලස්ථානයයෙන් දුරකථන අංකයක්..

Shiran Viraj

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි

Shiran Viraj
Translate »