28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

මැයි 9 සිට ජූලි 12 දක්වා රට පුරා දෙපාර්ශවයෙන්ම සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජනාධිපති කොමිසමක් පිහිටුවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ (22) පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි.

එහිදී වැඩිුදරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ ප්‍රකාශකර සිටියේය.

‘මැයි 9දා අරගලයට එරෙහිවත් ඉන්පසු අරගලයේ නාමයෙනුත් සිදුවූ භීෂණය 1987-89 භීෂණයටත් වඩා භයානකයි. එදා කවුරු හරි මරා දැමුවා නම් මරා දැමූ පුද්ගලයාට එරෙහිව තිබෙන චෝදනා දක්වමින් නිවේදනයක් මළ මිනිය ළඟින් තබනවා. නමුත් අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රිතුමා මරා දැමීම පිළිබඳ එවැනි නිවේදනයක් නිකුත් කරන්න පුළුවන් ද? ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රිතුමාගේ නිවස ගිනි තැබීම පිළිබඳ එවැනි නිවේදනයක් නිකුත් කරන්න පුළුවන් ද? ඒ සිදුවීම් අදටත් අභිරහසක්. ඒ වගේම කෙතරම් චෝදනා තිබෙන මන්ත්‍රිවරයෙකුට එරෙහිව වුණත් නීතිය අතට ගන්න විරුද්ධවාදින්ට අයිතියක් නෑ. සාමාන්‍ය ජනතාව කෙතරම් සද්භාවයෙන් අරගලයට සම්බන්ධ වුණත් යටි අරමුණු සහිතව දෙමළ බෙදුම්වාදින් සහ ඇමෙරිකානු ආණ්ඩුවෙන් ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මේ අරගලය සක්‍රීය කරගන්න අරමුදල් යෙදවූ බව මේ වන විට හෙලි වී තිබෙනවා.

ජන අරගල හරහා ආණ්ඩු පෙරලීම අරාබි වසන්තයෙන් මීට දශකයකට පෙර පටන් ගත් බවට සමහරු ප්‍රකාශ කළත් ඇමෙරිකාවේ මේ උපාය වසර 70ක් පරණයි. 1953 දී සීඅයිඒ සංවිධානයේ කර්මිට් රූස්වේල්ට්ගේ නායකත්වයෙන් ඉරානයේ අගමැති මොහොමඩ් මොසඩෙක්ගේ ආණ්ඩුව පෙරළුවෙත් මේ ආකාරයටම තමයි. ඒ වන විට ඉරානයේ තිබුණු ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සමාගම් වලට අයිති තෙල් ළිං වලින් ඒ රටවල් පොහොසත් වන විට ඉරානය දුප්පත්කමේ පතුලටම බැහැලා තිබුණා. තමන්ගේ රටේ තෙල් සම්පතේ ප්‍රයෝජනය තම රට සතු කර ගන්න අගමැති මොසඩෙක් ඒ තෙල් සමාගම් ජනතු කලා. එයින් කෝපයට පත් වුණු සීඅයිඒ සංවිධානය විසින් සූක්ෂම කුමන්ත්‍රණයක් සැලසුම් කරලා ඉරාන ජනතාව විසින් පත් කරපු නායකයා වසර දෙකහාමාරක් තුල ජනතාව ලවාම ඉවත් කෙරෙව්වා. හමුදාව එවලා ආණ්ඩු පෙරලනවා වෙනුවට ජන අරගල හරහා ආණ්ඩු පෙරලීමේ අරගල ක්‍රමයේ ආරම්භය තමයි ඒ. ඒ ලෝක අත්දැකීම් සමග බලන විට අපේ මව්බිම තිබෙන්නේ දැවැන්ත අනතුරක.

මේ තත්වය දැක්ක නිසා දෙපාර්ශවයෙන්ම සිදුවුණු ප්‍රචණ්ඩත්වය සහ එහි පසුබිම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් අපි පසුගිය මැයි 25දා හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. නමුත් ඒක සිදු වුණේ නෑ. ඒ නිසා මැයි 9 සිට ජූලි 12 දක්වා රට පුරා සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ජනාධිපති කොමිසමක් පිහිටුවන මෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි….

ඒ වගේම මේ අර්බූදය බිහි කරන්න ආණ්ඩුවේම ඇමතිවරුත් සම්බන්ධයි. අපි 2020 ඔක්තෝම්බර් 26 දා සිට රට විදේශ විනිමය අර්බූදයකට ගමන් කරමින් තිබෙන බවත් මෙන්න මේ පියවර ගත්තොත් අපිට අර්බූදය කලමණාකරනය කරගන්න පුළුවන් කියලා ප්‍රකාශකලා. නමුත් ඒක පිලිගත්තේ නෑ. තමන්ට ලෙඩක් නෑ කියන ලෙඩා කවදාවත් බේත් බොන්නේ නෑ. ඒ වගේ තත්වයක තමයි එදා ආණ්ඩුවේ උද්දච්ච ස්වරයෙන් කතා කරපු ඇමතිවරු හිටියේ. ඊට පස්සේ රට විදේශ විනිමය අර්බූදයකට ගමන් කරන බව 2021 ජූනි 12 අපි රටට කිව්වා. එතකොට ආණ්ඩුවේම ඇමතිවරු කිව්වේ “අපට ඇති තරම් සල්ලි තිබෙනවා. ඇති තරම් ඩොලර් තිබෙනවා. ගම්මන්පිල බොරු බිල්ලෝ මවලා ජනතාව බය කරනවා” කියලා. ඒ නිසා රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට රට ඇතුලේත් රට පිටතත් බලවේග වගේම ආණ්ඩුව ඇතුලේ ඉදන් රට අස්ථාවර කිරීමේ බලවේග තිබුණ බව ඉතාම පැහැදිලියි. අද මේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ඇති වුණේ වංචා, දූෂණ, සිතා මතා ගත් වැරදි තීරණ සහ නොසැලකිල්ල නිසා. මා යලිත් අවධාරණය කරනවා සිතා මතා මතා ගත් වැරදි තීරණ නිසා. මේ තත්වය ඇති වුණේ ඇයි ඒකට වගකිවයුත්තන් කවුද කියන එක හඳුනා ගත්තේ නැත්නම් අනාගතයේ නැවතත් මේ අභාග්‍ය සම්පන්න කාලය උදා වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ආර්ථික අර්බූදය ඇති වීමට හේතු සහ ඊට වගකිවයුත්තන් සොයා බලා වාර්තා කිරීමට තවත් ජනාධිපති කොමිසමක් වහාම පත් කළ යුතුයි. එවැනි ජනාධිපති කොමිසමක් පත්කලොත් මේ රට මෙතනට ඇද දැමීමට නොසැලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කලේ කවුද යන්න සාක්ෂි සහිතව ඒ කොමිසම ඉදිරියේ කරුණු දක්වන්න මා සූදානම්.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය – සැප්තැම්බර් හතරවෙනිදා අලුත් සන්ධානයක් හැදෙන්න යනවා ඒ ගැන මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ ?

පිළිතුර – සැප්තැම්බර් හතරවෙනිදා අපි අලුත් සන්ධානයක් බිහිකරනවා ප්‍රධාන හේතු දෙකක් මත. එකක් වර්තමානයේ විපක්ෂය කරන්නේ ප්‍රශ්න පිළිබඳ විවේචන ඉදිරිපත් කරමින් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රටට හඬගා කියනව . අපි මුහුණ දෙන ප්‍රශ්න අපි දන්නවා. ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියල දන්නේ නැතිකම. ආණ්ඩුවත් ප්‍රශ්නෙට උත්තරේ දන්නෙ නෑ . ජනතාවත් ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නෑ. විපක්ෂය ප්‍රශ්නය ඉදිරිපත් කරනවා මිසක් විසදුම මොකද්ද කියල කියන්නේ නෑ. ප්‍රශ්න අහල දැන් ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ . හැමෝටම දැනගන්න ඕන උත්තරේ මොකක්ද කියලා.

අපි දන්නවා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වූ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා අතරමං වුණා. නායකත්වයක් නැති වුණා . අපි ඔවුන්ට එන්න නිවසක් හැදුව මහින්ද සුළඟ කියලා . දැන් නැවත වතාවක් පොහොට්ටුවේ පාක්ෂිකයා අසරණ වෙලා ඉන්නේ, තමන්ට නායකත්වයක් දෙන්න කවුරුත් නෑ තමන්ට පක්ෂයක් නෑ. ඒ නිසා තමන්ගේ මතය නියෝජනය කරන පක්ෂයක් නෑ . ඒ අයව රැවටිලා තියෙන්නේ . ඒ නිසා එදා ලක්ෂ හැට නමයක් මහත් බලාපොරොත්තු තියාගෙන ඡන්දය දුන්න ජනතාව අද අසරණ වෙලා ඉන්නවා . උඹත් හැට නමයෙන් එකේද කියල මිනිස්සු හිනා වෙන තත්ත්වයට ඒ අයව පසුගිය කාලයේ අසරණ කරලා තියනවා. ඒ අයට අභිමානයෙන් යළි නැගී සිටීමට අපි නිවසක් සෑදීම තමයි අලුත් සන්ධානය බිහි කිරීම හරහා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

ප්‍රශ්නය – ඇමතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් ගොඩක් ප්‍රශ්න විසඳල තියනවනේ පෝලිම් ක්‍රමය අඩු වෙලා තියෙනවා ගෑස් ප්‍රශ්න විසදිලා තියෙනවා පොහොර ප්‍රශ්න විසදිලා තියෙනවා ඔබතුමාලට දැන් අලුතෙන් හැදෙන සන්ධානෙට විසඳන්න දෙයක් නැති වෙයිනෙ මේ විදිහට ගියොත් ?

පිළිතුර – හේතුඵලවාදය දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ ඵලය නැති කරන්න නම් හේතුව නැති කරන්න ඕන කියල. අද අපිට තියෙන එක පැත්තකින් ඉන්ධන මිල හතර ගුණයකින් වැඩි කිරිම සහ සලාක ක්‍රමයක් හඳුන්වා දීමෙන් ඉල්ලුම පාලනය කිරීම මිසක් ජනතාවට අවශ්‍ය ප්‍රමාණයේ සැපයුම ලබා දීමක් නොවෙයි. ඒ වගේම අපිට අඛණ්ඩව ඉන්ධන විදුලිය ගෑස් කර්මාන්ත අමුද්‍රව්‍ය කෘෂිකාර්මික අමුද්‍රව්‍ය මෙන්න මේ කියන කාරණා 5 සපුරන්න පුළුවන් තත්වෙකට රට ගේන්න ඕනේ. ඒ වගේම රටට කාගෙන්වත් ණයවර ලිපියක් මාස දෙකතුනකට විවෘත කරගන්න බැහැ. අද ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස ලෝකයා හඳුන්වන්නෙ. මේ තත්ත්වයෙන් ගොඩ ඒම තමයි දැන් තියෙන අභියෝගය . මේ තත්ත්වයෙන් ගොඩ එන්න අද වෙනතුරුත් ආණ්ඩුව කිසිම සැලැස්මක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා.

හැමදාම සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නේ කියලා අපිට කියද්දී අපි ආණ්ඩුවට කියන්නෙ ඔව් සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ අපේ යෝජනාවක් , අපි කිව්වේ අප්‍රේල් මස පළවන සතියෙ හා පුරා කියලා මේ අර්බුදයට මුහුණ දෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිවිය යුතුයි කියලා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්නේ පක්ෂ අතර ඇමැතිකම් බෙදා ගන්න ආණ්ඩුවක් නෙවෙයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්නේ සියලු දෙනා එකතුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්. ක්‍රියාත්මක කරන්න කලින් වැඩපිළිවෙළක් හැදෙන්නේ එපැයි. සර්වපාක්ෂික ආණ්ඩුව ගැන සංකල්පය ටත් දැන් මාස හතරක් වයසයි . හැබැයි තවමත් පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා .

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝණාර යන මහත්වරුන්ද සහභාගී විය.

– Media unit

Related posts

තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙක් රිමාන්ඩ්

Shiran Viraj

රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයි

Shiran Viraj

කාටවත් ඕන විදිහට පෙරහැරවලින් අලි ඉවත් කරන්න බැහැ

Shiran Viraj