28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

ලංකා ඉතිහාසයේ ඉහලම බොරතෙල් මිල දැන්

මේ මොහොතේ අපි මුහුණ දෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිලටයි. කෙනෙක් කියන්න පුළුවන් ඒක වැරදියි, ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල වාර්තා වුණේ බොරතෙල් බැරලයක් ඩොලර් 147ක් වුණු 2008 ජූලි මාසයේ දී කියලා. නමුත් ලාංකික අපට තෙල් මිල දරන්න සිදු වන්නේ රුපියල් වලින් මිස ඩොලර් වලින් නොවේ. 2008 ජූලි මාසයේ දී ඩොලරයක් වුණේ රු108යි. ඒ නිසා 2008 ජූලි මාසයේ දී තෙල් බැරලයක මිල රු 15,876යි. නමුත් දැන් ඩොලරය රු 203යි. පසුගිය පෙබරවාරි 16දා බොරතෙල් බැරලයක මිල ඩොලර් 95ක් වුණාම අපේ මිල රු 19,285යි. ඒ නිසා ලංකා ඉතිහාසයේ ඉහලම ලෝක වෙලඳපොල තෙල් මිල වාර්තා වෙන්නේ දැන්.

මේ වන විට ලෝකයේ තෙල් නිපදවන රටවල් බහුතරයක පවා ඩීසල් මිල ලංකාවට වඩා වැඩියි. දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල තිබෙන්නේ ලංකාවේ. ඉන්දියාවේ ඩීසල් මිල ලංකාවේ මිල වගේ දෙගුණයකටත් වඩා වැඩියි. ඉන්දියාවේ ආණ්ඩුව පොහොසත්. ජනතාව අපිට වඩා දුප්පත්. ඒ්ක පුද්ගල ආදායම ‌‌පහල මට්ටමක තියෙන්නේ. ලෝකයේ අපට වඩා අඩුවෙන් ඩීසල් විකුණන්නේ රටවල් 21ක් පමණයි. ඒ සියල්ලම යහමින් තෙල් නිපදවන රටවල්.

තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයකින් රු 19ක් පෙට්‍රල් 95 ලීටරයකින් රු17ක් ඩීසල් ලීටරයකින් රු52ක් සුපිරි ඩීසල් ලීටරයකින් රු35ක් සහ භූමිතෙල් ලීටරයකින් රු63ක් අලාභ ලබමින් තමයි තෙල් විකුණන්නේ. ඒ අනුව එක් දිනකට සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන 551ක්. පසුගිය වසරට ලැබූ පාඩුව රුපියල් මිලියන 83,000ක්. සංස්ථාවට මේ ආකාරයට තවදුරටත් තෙල් ආනයනය කරන්න බැරි වෙනවා. අපි රු200ට ගේන බඩුවක් රු150ට විකුණුවොත් නැවත ඒ බඩුව ගේන්න රු50ක් අඩුයිනෙ. එක්කෝ රු200ට වඩා වැඩි මුදලකට විකුණන්න ඕනෑ. නැතිනම් විකුණුම් මිල සහ ගැනුම් මිල අතර පරතරය සහනාධාරයක් විධියට ගෙවන්න ඕනෑ. ඒ දෙකෙන් එකක් වත් වෙන්නේ නැතිනම් නුදුරු අනාගතයේ මේ රටේ තෙල් හිගයක් ඇතිවීම කාටවත් වලක්වන්න බෑ.

ඩොලර් මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් සපයන්නේ නැතිනම් තෙල් ආනයනය සඳහා ඩොලර් ලබා දිය නොහැකි බවට පසුගිය ජනවාරි 28 දා මහ බැංකුව අපට ලිඛිතව දැනුම් දුන්නා. මේ තත්වය මත ඩොලර් නැතිවීම කෙසේ වෙතත් රුපියල් නැතිවීම මත නුදුරු අනාගතයේ තෙල් නැතිවීමේ බරපතල අවදානමක් තිබෙනවා.

ඉන්ධන මත බදු ඉවත් කළ යුතුයි

මේ අතරේ සංස්ථාවේ ගණනය කිරීම් අනුව පෙට්‍රල් 92 ලීටරයක් මත රු42ක් පෙට්‍රල් 95 ලීටරයක් මත රු64ක් ඩීසල් ලීටරයක් මත රු17ක් සුපිරි ඩීසල් ලීටරයක් මත රු39ක් බදු පනවා තිබෙනවා. මේ බදු මගින් දිනකට රුපියල් මිලියන 368ක් මුදල් අමාත්‍යාංශය උපයා ගන්නවා. මෙම බදු සියල්ල ඉවත් කලොත් සංස්ථාවට දෛනිකව ලබන රු551 පාඩුවෙන් රුපියල් මිලියන 368ක් ඒනම් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය වෙනවා. ඒ නිසා අද දින මම ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන මෙන් මුදල් ඇමතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කලා.

විපක්ෂ නායකතුමා කියන්නේ බොරු

ඉන්දියානු අගමැති නිවාස ව්‍යාපෘතියක් විවෘත කරන්න ලංකාවට පැමිණි අවස්ථාවේ අගමැති මෝදිට ඒරෙහිව කළු කොඩි එසවූ අයම මේ සතියේ ඉන්දියාවෙන් ණයකය ලැබුණු තෙල් නැවක් පිළිගන්න උත්සවාකාරයෙන් වරායට ගියා කියලා විපක්ෂණායකතුමා අපට චෝදණාවක් ඒල්ල කරනවා. බුදු හාමුදුරුවන් කාලාම සූත්‍රයේ දී යමක් ඇසුණු පමණින් විශ්වාස නොකර සොයා බලා පිලිගන්නැයි දේශනා කර තිබෙනවා. “අහෝ සජිතං නොඇසූ බුදු බණ” කියා තමයි මට කියන්න වෙන්නේ.

මම කළු කොඩි ඒසවූයේ පසුගිය ආණ්ඩුවට වසරක් පිරුණු 2016 ජනවාරි 8දා ඒ් ආණ්ඩුවට විරෝධය පලකරන්න. මම 2016 ජනවාරි 4 දා කළු ඇඳගෙන ඇවිත් ජනතාවගෙන් ඉල්ලීමක් කලා කළු කොඩි ඔසවා ආණ්ඩුවට විරෝධය පල කරන්න කියා පිවිතුරු හෙළ උරුමය විදිහට. ඉන්දියානු අගමැතිවරයා පැමිණි දවසක අපි කළුකොඩි ඒසවීමක් සිදුකලේ නෑ. සජබට හිතවත් වෙබ් අඩවි වල පසුගිය දිනක ඒ ඡායාරූප පල කර තිබුණේ මෝදි අගමැතිට විරෝධය පල කරන්න මම කළු කොඩි එසවූවා කියා. සමාජ ජාලාවලද ඒවැනිම ප්‍රචාරයක් ගෙන ගියා. අන්තිමට සජිත් මැතිතුමාගේ බොරුවට සජිත් මැතිතුමාම රැවටිලා තිබෙනවා. ඔන්න ඕකට තමයි ගොබෙල්ස් කිව්වේ එකම බොරුව සිය වරක් කියන විට කියන්නාට මෙන්ම අසන්නාට ද ඇත්තක් සේ දැනෙනු ඇත කියලා. හාවා ලෝකය පෙරලෙනවා කියා දුවන විට හාවා පස්සේ දිවූ පිස්සු පූසා වගේ කෙනෙක් ද මේ රට තමන්ට භාර දෙන්න කියා ඉල්ලා සිටින්නේ.

අපි තෙල් නැව භාර ගන්න වරායට ගියේ ඇයි කියා විපක්ෂ නායකතුමා ප්‍රශ්න කලා. තෙල් නැව උත්සවාකාරයෙන් භාර ගන්න අපට කිසිම උවමනාවක් නෑ. එතුමාට තේරෙන භාෂාවෙන් කිව්වොත් එතුමා සසුනට අරුණ කියලා පන්සල් වලට රු50,000 බැගින් බෙදන විට ඒක මාධ්‍යයට දෙන්න ඕනෑ විපක්ෂ නායකතුමාට මිස පන්සලේ හාමුදුරුවන් නොවේ. හම්බන්තොට දුප්පත් පවුලකට ටකරන් පහක් දෙන විට ඒක පත්තරේ දා ගන්න ඕනෑ දෙන සජිත් මැතිතුමාට මිස ලබන දුප්පත් පවුලට නොවේ. තෙල් නැව භාර ගැනීමත් ඒ වගේම තමයි.

– media unit

Related posts

අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැළණි ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් විවෘත කෙරේ..

Shiran Viraj

දේශීය කිරි පිටි කර්මාන්තයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය නවතියි – අමාත්‍යවරයාගේ මැදිහත්වීමක්

Shiran Viraj

ට්‍රම්ප් කිම් ජොන් අන් හමුවීමට සූදානම්

Shiran Viraj