30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ  අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ.

ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි. සුපිරි සහ 23න් පහළ  පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.

ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කරයි.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත.

සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය.

මෙම පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. එහි තොරතුරු පහත පරිදි වේ.

අන්තර්ජාතික මට්ටමේ පා පැදි තරග පසුබිමක් අනුව යන මෙම තරගාවලියේ දී  දුර ප්‍රමාණය,  ධාවන මාර්ගය ආදිය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය හොඳම කාල වේගය වාර්තා කොට සුපිරි දක්ෂතා දක්වනු ඇති බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.

කොවිඩ් වසංගතය තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාපැදි ක්‍රීඩාවට මෙම තරගාවලිය නව ආරම්භයකි.

මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

‘’අද මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යතුමාට. එතුමන් විසින් කර කරන ලද ඉල්ලීමකට අනුව පාපැදි සම්මේලනය මේ සඳහා අවසර ලබා දී තිබෙනවා.

අධිවේගී මාර්ගය එදා විවෘත කරන අවස්ථාවේදී එවකට සිටි විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර එම ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවට එය නැරඹීමට දින කිහිපයක් විවෘත කර තබමින් අවස්ථාව සලසා දුන්නා.

ඒ වගේම අද නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමග පාපැදි තරගාවලියක් පවත්වා ඒ අවස්ථාව ජනතාවට ලබාදීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලීමක් කළා.

මේ සම්බන්ධයෙන් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර මෙම පාපැදි තරගාවලිය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සම්බන්ධව එතුමාට මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

අධිවේගී මාර්ගයක පාපැදි ක්‍රීඩා කර ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට හැකිවීම පාපැදි ශූරීන්ට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස මා දකිනවා.

අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදා සවස 4 ට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කිරීමට නියමිත යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි,  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්.ක්‍රිෂාන්ත, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නලින් අධිකාරිආරච්චිගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

– මාධ්‍ය ඒකකය

Related posts

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කණගාටු වෙනවා

Shiran Viraj

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Shiran Viraj

ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.

Shiran Viraj