mediahumanrights.lk
News Political

“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක‍්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද ඉන් පිටව යන තරුණ – තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක‍්‍රමයක් විය නොහැකි බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක‍්‍රමයක් අවශ්‍ය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මෙම අවස්ථාව උපයෝගීකරගත යුතු බවයි කියා සිටියේ.

වර්තමානයේ සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය සඳහා විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවන බවත්, එමගින් විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් පිට රටවලට ඇදී යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

මෙම තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතු බවත් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත‍්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

අනාගතයේ දී විශ්ව විද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලූ‍දෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර නිවසේ සිට ඉංගී‍්‍රසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජල ගාස්තුවත් ළගදීම ඉහළට

Shiran Viraj

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

Shiran Viraj

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Shiran Viraj