mediahumanrights.lk
News Political

කොරෝනා අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා..

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒවා නිසි පරිදි ග්‍රහණය කරගෙන තම කර්මාන්ත හා ව්‍යාපාර සාර්ථක කර ගනිමින් ඉදිරියට යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. වගකිවයුතු රජයක් ලෙස ඒ සඳහා සුදුසු පරිසරයක් සකසන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී දේශීය ව්‍යවසායකයන්ගේ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය හා වෙනත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධ කර ගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පැවැත්වූ අන්තර්ජාල සජීවී සංවාදයට ප්‍රධාන ආරාධිතයා ලෙස සම්බන්ධ වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ ද සජීවීව ව්‍යවසායකයන් දිරිමත් කර සිටියේය.

“මෙරට ආර්ථික ක්‍රියාවලිය නතර වී තිබෙනවා. රජයක් විදියට ගත්තොත් රජයේ ආදායම් නතර වී තිබෙනවා. එහෙම හිතුවොත් අපට පොදුවේ හිතන්න පුළුවන් රටක් විදියට ‘අපි වැටිලා’ කියා. සමහරුන් අපව හිතන්න පොළඹවන ස්ථානයත් එතැනයි. නමුත් අපි සිතිය යුත්තේ එසේ නොවෙයි, ‘අපි යම් ස්වාභාවික විපතකට මුහුණ දී සිටිනවා. ඊට සාර්ථකව මුහුණ දෙමින් එය පාලනය කර ගනිමින් අපි ඉන් එළියට එමින් සිටිනවා’ කියායි අපි සිතිය යුත්තේ. කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ ‘හෝටල් අරින්නේ කොහොමද?’ කියන සාකච්ඡාව නොවෙයි අපි ඉදිරියේ තිබුණේ. ඒත් අපට අද හැකි වී තිබෙනවා, ‘සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව හෝටල් විවෘත කරන්නේ කෙසේද?’ කියන සාකච්ඡාව සිදුකර ගන්න. කොරෝනා පැමිණි විගස අපට ‘විවාහ මංගල්‍ය උත්සවයක් තියෙන්නේ කොහොමද?’ කියන සාකච්ඡාව සිදු කිරීමේ හැකියාව තිබුණේ නැහැ. නමුත් අද අපට සෞඛ්‍යාරක්ෂිතව විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වන්නේ කෙසේද? යන සාකච්ඡාව සිදු කළ හැකිව තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමිය පැවසූ පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කළාට පසුව අපට ආර්ථිකයේ තවත් අංශ ගණනාවක්ම විවෘත කිරීමේ ඉඩකඩ විවෘත වෙනවා. ඒ නිසා අපි අසුබවාදීව අනාගතය දෙස බැලිය යුතු නැහැ.

සාමාන්‍ය ජන සමාජය අද සුරක්ෂිතයි

අදටත් ලෝකයේ බොහෝ රටවල් බරපතළ ලෙස කොරෝනා වසංගතය සමග පොර බදමින් සිටිනවා. ඒ රටවල දිනකට 1000කට අධික ප්‍රමාණයක් මිය යමින් සිටියදී තමයි ඔවුන් ආර්ථිකයේ යම් යම් අංශ විවෘත කරමින් සිටින්නේ. නමුත් අපි ඒ අනුව ඉන්නේ ඉතා ඉහළ තත්ත්වයක. සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල බලවත් කැපවීම මත අද මෙරටින් හමුවන්නේ අතරින් පතර රෝගීන් කිහිප දෙනෙකු පමණයි. ඒ පිරිස ද විදෙස් රටවල සිට පැමිණෙන අය හා නාවික හමුදාවට අයත් පිරිස ලෙස සීමා වී තිබෙනවා. ඒ සියලුදෙනාමත් පාලනයට යටත්. ඒ නිසා අද සාමාන්‍ය ජන සමාජය සුරක්ෂිත වී තිබෙනවා. නමුත් එසේ වුවත් අපට සෞඛාරක්ෂිත උපදෙස් නොතකා හරිමින් කොවිඞ් – 19 වෛරසය පැමිණීමට පෙර සමයේ වගේ වැඩ කටයුතු කිරීමට බැහැ. අපට තව ටික කාලයක් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමට සිදු වේවි. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ. ‘අපට සියල්ල අහිමි වෙලා. යළි නැගිටින්න බැහැ’ කියා. එය සුදුසු ආකල්පයක් නොවෙයි.

වගකීමක් ඇති රජයක්

මෙම සංවාදය තුළ අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂතුමන් පෙන්වා දුන්නා ‘පෙර පරිදි අපේ ඇඟලුම් සඳහා ඉල්ලුමක් නැති වේවි” කියා. නමුත් ඇඟලුම් සඳහා ඉල්ලුම නැති වන විට ‘මුඛ ආවරණ’ සඳහා ඉල්ලුම වැඩි වී තිබෙනවා. ඒ නිසා අපි මේ දෙස සුබවාදීව බලමු. අනෙක මේ රටේ අද තිබෙන්නේ වගකීමක් ඇති රජයක්. අද මට කිහිපදෙනෙක් දුරකථන ඇමතුම් ලබා දී දැනුම් දුන්නා,‘අද දවසේ සහරාන් වර්ගයේ ප්‍රහාරයක් ඒල්ල වේවි කියා කතාවක් යනවා’ කියලා. මම දන්නේ නැහැ මෙවැනි කටකතාවක් කොහොම පැතිරුණා ද, කියා. මම මේ පිළිබඳව ආරක්ෂක අංශ ප්‍රධානියෙක්ගෙන් ඇහුවාම ඔහු දුන්නු උත්තරේ තමයි ‘සියයට දාහක් සහතික වෙනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ’ යන්න. අද ඇත්තේ එසේ වගකීමක් අරගෙන කටයුතු කරන රජයක්. ඒ නිසා මා යළිත් කියනවා, ‘අපි අසුබවාදීව ඇද වැටිය යුතු නැහැ’ කියා. මේ වසංගත තත්ත්වය ඇතුළේ අපට අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා. අපි ඒ හිමි වන අවස්ථාවන් හරියට ග්‍රහණය කර ගනිමින් ඉදිරියට යමු. අපි රජයක් ලෙස දේශීය කර්මාන්ත, ව්‍යාපාර නංවාලීම සඳහා සුදුසු පරිසරය ඔබට හදා දෙනවා. පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා.”

මෙහිදී අන්තර්ජාලය ඔස්සේ ව්‍යවසායකයන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සෞඛ්‍ය හා වෙනත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිළිතුරු ලබා දුන්නේ පහත පරිදිය.

ප්‍රශ්නය – රජය විසින් ගනු ලබන තීරණ මූල්‍ය ආයතන විසින් තවමත් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම, උදාහරණයක් විදියට 4% පොලී අනුපාතයකට ණය මුදලක් දෙන බව රජය ප්‍රකාශ කළ ද බැංකු පද්ධතිය හරහා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන්න…

(අමාත්‍ය විමල් වීරවංශ)
‘මේ ණය අප ලබා දෙන්නෙ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඇති අය සඳහා පමණයි. උදාහරණයක් වශයෙන් සේවකයන්ට වැටුප් ගෙවාගන්න නොහැකි, වැනි දෛනික අවශ්‍යතාවලින් පෙළෙන අයට. නමුත් වැරදි සන්නිවේදනය නිසා ව්‍යවසායකයන් විශාල පිරිසක් විවිධ අවශ්‍යතා වෙනුවෙන් මේ ණය ඉල්ලුම් කරලා තියෙනවා. මේ හේතුව නිසා බැංකුවලට මේ හැම ඉල්ලීමක් ගැනම සොයා බලා නිසි අවශ්‍යතාවය සහිත ව්‍යවසායකයන් වෙනුවෙන් අවධානය යොමුකොට කටයුතු කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා තමයි මේ සඳහා ඉල්ලුම් කළ හැකි කාලය මහ බැංකුව විසින් දීර්ඝ කරලා තියෙන්නේ.’

(මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ)
‘විශාල සංඛ්‍යාවක් මෙම 4% ණය සඳහා ඉල්ලුම් කරලා තියෙනවා. නමුත් මහ බැංකුව විසින් වෙන් කරලා තියෙන්නෙ බිලියන 50ක් පමණයි. එම මුදල බැංකු පද්ධතිය හරහා බෙදිලා යනවා. රජය විසින් රැකියා සුරක්ෂිතතාවය සඳහා සේවක වැටුප් ගෙවීම්, ජල-විදුලි බිල් ගෙවීම් සහ වෙනත් දෛනික වියදම් පියවීමට මෙම ණය අනුමත කරලා තියෙනවා.

අයදුම්කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කරන්න රජය විසින් අප්‍රේල් 30 දක්වා කාලය ලබා දී තිබුණත් නැවතත් එය රජය විසින් තවත් දින 15කින් දීර්ඝ කළේ තවත් අයට අයදුම් කරන්න අවස්ථාව සලස්වා දෙන්න. මහ බැංකුව ලැබී තියෙන ඉල්ලුම් පත්‍ර පැය 24ක් සේවයේ යෙදෙමින් ඇගයීමට ලක් කරනවා. තව සතියක් ඇතුළත ඒ ඇගයීමට ලක් කර අනුමත ඉල්ලුම් පත්‍ර අදාළ බැංකු වෙත ලබා දෙන්න සූදානමින් සිටිනවා.

ප්‍රායෝගිකව ඉල්ලන සියල්ලටම මෙම ණය ලබා දෙන්න බැහැ. රජය තීරණය කළාට බැංකුවට ගිහින් කිව්වාට ‘මට මෙපමණ මුදලක් ඕනෙ’ කියලා බැංකුවට දෙන්න බැහැ. මොකද බැංකු විසින් එම බිලියන 50 නැවතත් මහ බැංකුවට ගෙවිය යුතුයි.’

ප්‍රශ්නය – ඉහත පිළිතුර අනුව පෙනෙනවා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා ලබා දෙන ණය නොලැබෙන අය ඉන්නවා, කියා. ව්‍යාපාර මේ වෙලාවේ වැටුණු මේ අයටත් යම්කිසි හඳුනාගත් ක්ෂේත්‍ර වශයෙන් හෝ ණය යෝජනා ක්‍රමයක් තියෙනවාද ?

(මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ)
මහජනයාගේ බැංකුව ලෙස අපි අලුත් ණය ක්‍රම පිළිබද සාකච්ඡා කරගෙන යනවා. පසුගිය දිනවල අස්වැන්න ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නා. කෘෂි, වනජීවී හා පශු සම්පත් අංශ සඳහා පොලී තනි අගයකට ගැනීම, 10%ට වඩා අඩු කිරීම අත්‍යවශ්‍යයි. බොහෝ ව්‍යවසායකයන්ට ණය නොලැබුණේ ඔවුන් අවිධිමත් ව්‍යවසායකයන් නිසා. ව්‍යාපාර සංවිධානාත්මකව නොවෙයි කරගෙන යන්නේ. බැංකුවට තමන් ව්‍යාපාරයක් නිසියාකාරව කරනවා කියලා ඒත්තු ගැන්විය යුතුයි. ව්‍යාපාරය ලියාපදිංචි කරවා බැංකු ගිණුමක් පවත්වා ගනිමින්, ගනුදෙනු කරමින් පවත්වාගෙන යා යුතුයි.

ප්‍රශ්නය – රජය විසින් දැනුවත් කළ බැංකු ණය සහන කාලය, පොලී සහන, ණය අය කර ගැනීමේ සහන කාලය ලබා දෙනවාද?

(මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ)
මුලින්ම අපි දැනගත යුතුයි මේ සහන ලබා දෙන්නෙ මහජනතාවගේ තැන්පතු මුදලින් බව. එතකොට බැංකු මේ තැන්පත්කරුවන්ට ඊළග මාස හයේ දී තැන්පතු පොලී ගෙවන්න ඕනෙ. ගනුදෙනුකරුවන්ගේ ගෙවීම් අපට නවත්වන්න බැහැ. රජය මාස හයක සහන කාලයක් දීලා තියෙනවා. පොලියක් මේ සඳහා අය කරනවා ණය ලබා ගෙන ඇති කාලසීමාවෙන් පසු ගෙවන්න, වාරික වශයෙන් ගෙවන්න වගේම සාමාන්‍ය පොලී අනුපාතයකට වඩා අඩු පොලී අනුපාතයක් යටතේ ගෙවීමට.

ප්‍රශ්නය – විවාහ උත්සව පැවැත්වීමේ හැකියාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න..

(සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය)
‘මේ ප්‍රශ්නය විවිධ සම්බන්ධතා ඇති අයට බලපානවා. ඡායාරූප ශිල්පීන්, රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු රැකියා ක්ෂේත්‍ර රැසකට තර්ජන එල්ල වෙලා තියෙනවා. නමුත් කියන්න ඕනෙ පසුගිය කාලයෙත් මංගල උත්සව පැවැත්වූවා. විවාහ උත්සවයක් සඳහා අවමය තීරණය කරලා අත්‍යවශ්‍ය අයට පමණක් ඇරයුම් කරලා අවශ්‍ය පරතරය තබා ගෙන සියලුම සෞඛ්‍ය මූලධර්මයන්ට අනුව ආරම්භයේ සිටම ක්‍රමවේදයන් සැලසිය යුතුයි. මේ අවස්ථාවලට පිටින් සම්බන්ධ වන කැමරා ශිල්පීන්, සංගීත සපයන්නන් ඇතුළු සියල්ලන් නීතිරීතිවලට අනුගත විය යුතුයි. පරතරය තියාගන්න පුළුවන් තැන් වගේම පරතරය තියාගන්න බැරි පෝරුවේ චාරිත්‍ර වැනි තැනුත් තියනවා. විය යුත්තේ පරතරය තියාගන්න උපරිම උත්සාහ කරන එක. මෙහි දී අත්‍යවශ්‍යම අංග පමණක් ඇතුළත් කරගැනීම වැදගත්.’

ප්‍රශ්නය – රූපලාවණ්‍ය කටයුතු සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න

(සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය)
‘කොණ්ඩය කැපීම සඳහා පමණක් දැනට අනුමැතිය ලැබිලා තියනවා. ඒ වගේම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයාගේ අනුමැතිය යටතේ රූපලාවණ්‍ය කටයුතු පවත්වාගෙන යා යුතුයි.’

ප්‍රශ්නය – මංගල උත්සව සදහා අත්තිකාරම් ගෙවූ අය නැවත එම අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස හෝටල් හිමියන්ගෙන් ඉල්ලනවා. නමුත් නීතිමය වශයෙන් දෙන්න අවශ්‍යතාවක් නැහැ. හෝටල්වලින් දෙන්න බැහැ කියන අවස්ථා තියනවා. මේ සඳහා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

(අමාත්‍ය විමල් වීරවංශ)
‘දිනය වෙනස් වුණාට විවාහ වෙන අදහස අත් හැරියේ නැත්නම් කොවිඞ් ඉවර වුණාම වෙනත් දිනයක් ඒ හෝටලයේ දීම යොදා ගන්න. හෝටල් හිමියන් ඒකට එකගයි. දැනට පවතින නීති රීති අනුව එය කළ හැකියි.’

ප්‍රශ්නය – කොවිඞ් වසංගතය සමග ආනයන අපනයන සම්බාධක ගණනාවක් පනවලා තියෙනවා. අපනයනකරුවන් සමහර අපනයන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙනවා. මෙසේ ආනයනය නොකර එම භාණ්ඩය නිමි භාණ්ඩයක් බවට පත්කිරීම කළ නොහැකියි. මෙවැනි අමුද්‍රව්‍ය ආනයනය තහනම් කරලා තියෙනවා. ඒ ආනයන අපනයන රෙගුලාසි පිළිබඳ වෙනස් වීම් මොනවාද? එයට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද?

(රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න)
‘මේක ලෝකවාසී සියලුදෙනාටම බලපාන ප්‍රශ්නයක්. එවැනි ආපදාවකදී ඕනෑම රජයකට යම් යම් තීරණ ගන්න වෙනවා, මෙවැනි තත්ත්වයකට මුහුණ දීලා තමන්ගේ වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන්න. ශ්‍රී ලංකා රේගුව බදු ආදායමින් 57%ක් ලබා දෙන, ආනයන බහාලුම් 2000ක් නිදහස් කරන, අපනයන බහාලුම් 500කට පහසුකම් සලසන තැනක්. මේ සියල්ලටම බාධා පැමිණුනා. මේ නිසා රජයට මූල්‍යමය සුරක්ෂිතතාව, එනම් රුපියලේ අගය පවත්වාගෙන යාම සඳහා තීරණයක් ගැනීමට සිදු වුණා. එම නිසා ආනයන අපනයන පාලක විසින් විශේෂ රෙගුලාසි පැනවීම් කළා. දැනට ආනයන භාණ්ඩ 1800ක් දක්වා සීමා පැනවීම් සිදුකර තිබෙනවා.

ආනයනික අමුද්‍රව්‍ය ගෙන්වීමට බලපෑම් ඇති වුණත් ඇතැම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීම් කළා. උදාහරණයක් වශයෙන් ප්ලාස්ටික් වර්ග සහ ඇසුරුම් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ග. මේ තත්ත්වය මත අපනයන සඳහා පහසුකම් සැලසිය යුත්තේ කෙසේද, කියලා විවිධ ආයතන මට්ටමින් සාකච්ඡා පැවැත්වීම් සිදු වුණා.

මේ සඳහා සිද්ධීන් වශයෙන් අරගෙන අපි යම් යම් ක්‍රියාමාර්ග ගනු ලැබුවා. මේ තත්ත්වය මුල් කාලයේ දී දැනුනේ නැතත් නැවත කර්මාන්ත විවෘත කිරීමත් සමග විශාල වශයෙන් දැනෙන්න වුණා. දැන් මේ සඳහා අදාළ වන සියලුම ආයතන එකතු වෙලා ක්‍රමවේදයන් හදමින් සිටිනවා. තව නොබෝ දිනයකින් සුබවාදී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විශේෂ ගැසට් පත්‍රයක් මගින් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන්න ඉදිරියේ දී කටයුතු කරනවා.’

(අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක)
‘අපි එක් එක් අපනයනකරුවාගේ අවශ්‍යතාවය සලකා බලා යම් යම් අනුමැතීන් ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම් තවදුරටත් සිදු කරනවා. අපනයනකරුවකුට ප්‍රශ්නයක් ඇති වුවහොත් health desk එක හරහා අවශ්‍ය ඉල්ලීම් කළ හැකියි. www.srilankabusiness.com වෙබ් අඩවිය මගින් ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව තිබෙනවා.’

ප්‍රශ්නය – එකවර ගෙවීමට සිදු වන විදුලි බිල්පත් සඳහා සහන කාලයක් ලබා දිය හැකිද?

(අමාත්‍ය විමල් වීරවංශ)
‘4% පොලී අනුපාතය යටතේ ණය දෙන්නේ මේ වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවලට. හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තවදුරටත් දෙන්න පුළුවන් සහන පිළිබඳ සොයා බැලීමට අදහස් කරනවා.’

ප්‍රශ්නය – පෞද්ගලික අංශයේ වැටුප් අඩු කිරීම්, රැකියා අහිමි වීම් සිදු වෙනවා. මේ පිළිබද නීතිමය පසුබිම කුමක්ද?

(අමාත්‍ය විමල් වීරවංශ)
‘මේක ලෝකයටම ආවේණික ප්‍රශ්නයක්. ලෝකයේ එකවර වැඩිම රැකියා ප්‍රමාණයක් අහිමි වූ අවස්ථාව මෙයයි. ක්ෂණිකව සමහර වෙලාවට විසඳුම් දෙන්න බැහැ. ඒ නිසා තමයි රජය උත්සාහ ගන්නේ සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව ආර්ථිකය නැවත පණ ගන්වන්න. අපි පුළුවන් තරම් ඉදිරියේ දී ව්‍යවසායකයන්ට නැගී සිටීම සඳහා සහයෝගය දීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – විසිතුරු මත්ස්‍ය, විසිතුරු මල් හා ඇඟලුම් කර්මාන්තයෙහි අපනයන වෙළෙදපොළ සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන්නේ. අපනයන ආදායම අහිමි වෙලා තියෙන්නේ. මේ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහන කෙබඳුද?

(අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක)
‘කොවිඞ් – 19 හේතුවෙන් කර්මාන්තකරුවන්ට වූ බලපෑම අධ්‍යයනය කර අවශ්‍ය අවසරපත් ලබා දීමට කටයුතු කළා. මේ සඳහා ඍජුවම මැදිහත් වුණා. තානාපති කාර්යාල හරහා දැනුවත් වීම් කර ඒ රටවල අවශ්‍යතා ලබා ගෙන අපනයනකරුවන් දැනුවත් කිරීමක් සිදු කළා. ඇඟලුම් කර්මාන්තවල මුල් අවස්ථා බිඳ වැටීමත් සමග සෞඛ්‍ය ආරක්ෂක මෙවලම්වලට ඉල්ලුම වැඩි වුණා. අපනයන සංවර්ධන මණ්ඩලය අදාළ ක්ෂේත්‍රයේ අයට ඇණවුම් බෙදා දීමක් සිදු කළා.

මේ දිනවල වැඩි අවධානය මූලික අවශ්‍යතාවලටයි. දෙවන පෙළ අවශ්‍යතා වෙන විසිතුරු මත්ස්‍ය , විසිතුරු මල් බිඳවැටෙන කර්මාන්ත. ඒක අපට පිළිගන්න වෙනවා. තමන් යෙදුන කර්මාන්තය එකවර අයින් කරන්න බැහැ. තව ටික කාලයක් පවත්වාගෙන යන්න වෙනවා. නැවත අලෙවිය වැඩි වන අවස්ථාවේ අවස්ථාවන් වැඩි කර ගනිමු. ඉදිරියේ NEDA සමග එකතුව දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා.’

ප්‍රශ්නය – කොවිඞ් 19 නිසා රැකියාව අහිමිව හෝ අතහැර බොහෝ පිරිසක් නැවත ලංකාවට එනවා. ඒ අයට නැවත ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරන්න ණය ක්‍රමයන් සහ ව්‍යාපාරික අවස්ථාවන් තිබෙනවාද?

(අමාත්‍ය විමල් වීරවංශ)
‘දැනටමත් බැංකු හරහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත ලබා දෙන ණය ක්‍රමයක් තිබෙනවා 8% පොලී අනුපාතයක් යටතේ. සුදුසුකම් තියෙන අයට හා විදේශගතව සිට යම් මුදලක් උපයාගෙන සිටින අයට කර්මාන්ත පටන්ගන්න උවමනා නම් සඳුදා දිනවල අමාත්‍යාංශයේදී පැවැත්වෙන කර්මාන්තකරුවන්ගේ දිනයේදී මා මුණ ගැසීම සඳහා අවස්ථාව තිබෙනවා. ඔබගේ ඉල්ලීම් සඳහා දිය හැකි උපරිම සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා.’

(සභාපති / අධ්‍යක්ෂ ජනරාල් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය – අනුෂ්ක ගුණසිංහ)
‘ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව විදේශ වෙළෙඳපොළේ ඇති නව අවස්ථාවන් පිළිබදව ඔන්ලයින් වැඩමුළුවක් පැවැත්වීමට අදහස් කරනවා. ඒ පිළිබඳව ඉදිරියේදී ඔබ දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’
(under the courtesy of lankacnews.com news web)

Related posts

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

Shiran Viraj

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Shiran Viraj