mediahumanrights.lk
Local NewsNews

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට අළුයම 05ට ලිහිල් කරයි

දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක සදහා රාත්‍රී 08.00 ට යළි ඇදිරි නීතිය පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මැයි මස පළමු වනදා දක්වා රාත්‍රී කාලයට පමණක් මෙම දිස්ත්‍රික්ක සදහා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එය ක්‍රියාත්මක කෙරෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෙසේවෙතත් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය මැයි මස 4 වන සදුදා අළුයම 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් සඳහන් කළේය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ රාජකාරී කටයුතු මැයි මස 4 වනදා සිට ආරම්භ කළ යුතු අතර පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10.00 ලෙස නියම කර තිබේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැදවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණක් වෙයි.

යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යවශ්‍ය වුවද ඒ සදහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 මේ අතර කිසියම් පුද්ගලයෙකු නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා පමණක් බව පෙන්වාදෙන රජය එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ලඟම පිහිටි ආසන්න වෙළඳසැල පමණක් තෝරාගත යුතු වෙයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ඒ අනුව සදුදා දිනවල නිවසින් බැහැරව යාමට ඉඩ ලැබෙනුයේ අංක 1 හෝ 2 ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ලෙස ඇති පුද්ගලයින්ට පමණක් වෙයි.

මීට අමතරව අංක 3 හෝ 4 සහිත පුද්ගලයින්ට අඟහරුවාදා දිනයේත්, 5 හෝ 6 සහිත පුද්ගලයින්ට බදාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනු ඇත.

බ්‍රහස්පතින්දා දිනයේ අවසාන අංකය ලෙස අංක 7 හෝ 8 සහිත පුද්ගලයින්ට මෙන්ම සිකුරාදා දිනයේ අවසාන අංකය 9 හෝ 0 සහිත පුද්ගලයින්ට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වෙයි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පාසල්, විශ්ව විද්‍යාල, උපකාරක පන්ති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමාශාලා නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතු වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

Shiran Viraj

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

Shiran Viraj

ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයි

Shiran Viraj