28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්

ටෙලි  නාට්‍යවලට  මගේ  එතරම්  කැමැත්තක්  නැහැ පූජා මඩුගල්ලට පණ පොවන  අසංකි

අසංකි ද සිල්වා. මව පියා සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක බඩ පිස්සිය වූ ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කලාවට කිසිසේත් සම්බන්ධ පවුල් පරිසරයකින් තොරවය. කලක් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳෙමින් විවිධ ඉසව් ජය ගත් ඇය නුදුරේදීම සිනමා තාරකාවක ලෙස ද සිය ගමන අරඹන්නීය. ඒ මහේෂ් මුණසිංහගේ කුළුදුල් නිර්මාණය වන ‘රෂ්‘ චිත්‍රපටයෙනි.

ඉරේෂා අසංකි කියන නම ක්ෂේත්‍රයට තරමක් හුරුයි නේද?

මගේ සම්පූර්ණ නම් ඉරේෂා අසංකි ද සිල්වා. ක්ෂේත්‍රයේ ගොඩක් අය මාව දැනන් හිටියේ අසංකි කියලා. ‘ඉරේෂා‘ කොහොමත් ටිකක් කොමන් නමකුත් නිසා, මාව ගොඩක් දන්නේ අසංකි කියන නමෙන් නිසත් සිනමාවට අසංකිද සිල්වා කියන නම ගැළපේවී කියලා හිතුණා.

කලාවට තිබුණු කැමැත්ත නිසාද නිරූපණය තෝරගන්නේ?

මම කලාවේ කොයි දේටත් කැමැතියි. නිරූපණයට පොඩි කාලේ ඉඳන්ම කැමැත්ත තිබුණා. නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණාම රංගනයටත් කැමැත්තක් ඇති වුණා. නමුත් රංගනයට හොඳ අවස්ථා එකපාරම ලැබුණේ නැහැ.

ඔබේ රංගනය මුලින් දකින්නේ පුංචි තිරයෙන්?

නිරූපිකාවක් විදිහට කටයුතු කරද්දි තමයි චාමර පීරිස් කියන අධ්‍යක්ෂවරයාගේ ‘ඇසිඩ්‘, ‘ත්‍රිමාණ‘, ‘වි.වි.අයි.පී‘ කියන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ටෙලි නාට්‍ය නිසා සාමාන්‍ය ප්‍රේක්ෂකයා අතරට යන්න මට හැකි වුණා.

දැන් ඔබ සිනමා නිළියක් ලෙස ද මා හැඳින්විය යුත්තේ?

සිනමා නිළියක් සහ නිරූපිකාවක්.

සිනමාවට පිවිසෙන්නේ කොහොමද?

සිනමාවට එන්න මඟ හැදෙන්නේ ටෙලි නාට්‍යවලින්. ඒ තමයි මගේ රංගනයේ පටන් ගැන්ම. සිනමාවට එකපාරටම අපට එන්න බැහැ. පුංචි තිරයේ පටන් ගැන්ම සිනමාවට පිවිසෙන්න හොඳ පාරක් වුණා.

‘රෂ්‘ ඔබේ සිනමා ගමනේ ඇරඹුම ලෙසයි හඳුන්වන්නේ?

ඒ අවස්ථාව මට ලැබෙන්නේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මහේෂ් මුණසිංහ නිසාමයි. චිත්‍රපටයේ ප්‍රධාන නිළියට ඉන්දියාවෙන් කෙනෙක් ගෙන්න ගන්නයි ඔවුන් ගේ සැලසුම වෙලා තිබුණේ. පස්සේ පොඩි පොඩි දේවල් එක්ක ඒ සැලසුම වෙනස් කරලා ලංකාවෙම අලුත් හෝ ගොඩක් පෙනිලා නැති කෙනෙක් තෝරගන්න ඔවුන් තීරණය කරලා. ඊට පෙර මහේෂ් අයියාගේ වෙළෙඳ දැන්වීමකට මට කතා කර තිබුණත් ඒකට යන්න බැරි වුණා. චිත්‍රපටයේ ඔඩිෂන්ස්වලට කතා කරන කල්ම මම ඔහුව මුණගැහිලා තිබුණෙත් නැහැ. ඔඩිෂන් එකේදී මට පොඩි කොටස් කිහිපයක් දුන්නා රඟපාලා පෙන්වන්න. ඔහොම තමයි මාව මේ චිත්‍රපටයට තේරුණේ.

නමුත් ‘රෂ්‘ ඔබේ පළමු සිනමා රංගනය නෙමෙයි නේද?

නාලක විතානගේ කියන අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක මම හිටියා. එහි කොටස් කිහිපයක් කළා. ඒ චිත්‍රපටය යම් ප්‍රශ්න කිහිපයක් නිසා මගදි නැවතුණා. කාලයක් ගිහින් තමයි වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ කතා කරද්දි මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඉතින් එය මගේ පටන් ගැන්ම වෙන්නේ නැහැ.

පුජාට ප්‍රවිෂ්ට වීම දැනුණේ කොහොමද?

මට රඟපාන්න තිබුණේ ප්‍රවීණයෝ සහ දක්ෂයෝ ගොඩක් එක්ක. චිත්‍රපටයට මාව තේරිලත් ඒ ගැන මතක් වෙද්දි ගෙදර හිටියෙත් හරිම බයෙන්. ඒ බය නිසාම දවසක් මම මහේෂ් අයියට කෝල් කරලා කිව්වා ඔහුට මේ චිත්‍රපටයට වෙන කාවහරි ගන්න ඕනේ නම් ගන්න කමක් නැහැ කියලා. ඔහු මගෙන් ඇහුවා “ඔයාට මේච්චර චාන්ස් එකක් ලැබිලා තියෙද්දි ඇයි මේක මඟහැර ගන්නේ; මොකද්ද ෆිල්ම් එකට එන්න අකමැති හේතුව“ කියලා. මම ෆිල්ම් එකට ගොඩක් කැමැති වුණත් ඒ නිර්මාණය වෙනුවෙන් ඔවුන් වෙන මහන්සියට මගේ පැත්තෙන් සාධාරණයක් වේවිදැයි මට තියෙන බය ගැන මම ඔහුට පැහැදිලි කළා. ඔහු බොහොම හොඳින් එය තේරුම් ගෙන මාව දිරිමත් කළා.

චිත්‍රපටයට තියෙන සුදානම ගැන, අපේ කෑම බීම පාලනය, ව්‍යායාම ගැන පවා ඔහු නිතරම සොයා බැලුවා. රූ ගත කිරීම් පටන් අරන් දවසක් දෙකක් යද්දි මටම තේරුණා හැමෝම හරිම සුහදයි කියලා. අධ්‍යක්ෂවරයාගෙන්, ප්‍රවීණ සහ සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලැබුණු සහයක් එක්ක කලින් තිබුණු බය එහෙමම මඟ හැරිලා ගියා. මට සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්.

ඒ ලැබුණු අවස්ථාවට ඔබෙන්සා ධාරණයක් ඉටු වුණා යැයි හිතනවාද?

මීට වැඩිය දෙයක් කරන්න තිබුණා කියලා මට පෞද්ගලිකව දැනුණු පොඩි පොඩි අවස්ථා තිබුණා. නමුත් බොහෝ දුරට මම තෘප්තිමත්. රංගනය පිළිබඳ මේ වෙද්දි බලපු සීමිත පිරිසගෙන් පවා ලැබුණු ප්‍රතිචාර හරිම ධනාත්මකයි. හරිම ප්‍රතිචාර දැන ගන්න ප්‍රේක්ෂකයෝ අතරට යන්න ඕනේ.

සිනමාව නිසා ඉදිරියේදී පුංචි තිරයෙන් අසංකි ඈත් වේවිද?

ටෙලි නාට්‍ය රඟපාද්දිත් මගේ ඉලක්කය වුණේ සිනමාව. ටෙලි නාට්‍යවලට මගේ එතරම් කැමැත්තක් නැහැ. පුංචි තිරයෙන් මම දැන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නේ. සිනමාවේ හොඳ නිර්මාණවලින් ඉදිරියට ගිහින් සිනමාවේ දෙයක් කරන්න තමයි ලොකුම ආසාව.

සමහරු වගේ ජනප්‍රිය වූ ගමන් අසංකිත් ජනප්‍රියත්වය ඇඳගනීවිද?

මම එහෙම චරිතයක් නෙමෙයි. සමහර අය කියනවා මාව දැක්කම ආඩම්බරයි කියලා. මගේ පෙනුමෙන් එහෙම පේනවද දන්නේ නැහැ. කතා බහ කළොත් ඊට බොහෝ වෙනස් කියලා මාව තේරුම් ගනි. සිනමාවට එනවාට වඩා එහි රැඳීම තමයි අමාරුම. ඉතින් එහෙම ඇවිත් පොඩි දේවල් කිහිපයක් කරලා ඇඳ ගන්න අය ඉන්නවා. නමුත් අපි එහෙම විය යුතු නැහැ .කලාකරුවාට මිනිස්සු ආදරෙයි. ඒ ආදරය දිගටම රැඳෙන්නේ ප්‍රේක්ෂකයෝ එක්ක මේ සමාජයේ හොඳ විදිහට හිටියොත්. මම කැමැති කා එක්කත් සුහදශිලීව සිනමාවේ හොඳ නිර්මාණ සමඟින් කාලයක් රැදෙන්නයි.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ඇමති විදුරත් 20ට විරුද්ධ වෙයි

Shiran Viraj

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

Shiran Viraj

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Shiran Viraj