28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

මුලින්ම අපි තුෂිනිගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතාකරමු..
මගේ ගම කටුනේරිය. වෙන්නප්පුව හෝලි පැමිලි කොන්වන්ට් එකෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබලා කටුනේරිය ශා/සෙබස්තියන් විදුහලින්  උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරුවා. පුංචිකා‍ලේ ඉඳන් මගේ තිබුන ලොකුම හීනය වෛද්‍යවරියක්වීම . උසස්පෙළ සමත් වුණත් මට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා . ඉන් පසුව මම ඉතාලියට ගියා . අපේ පවු‍ලේ හැමෝම ඉන්නේ ඉතාලියේ . මම එහිදී හෝටල් කේෂ්ත්‍රයේ රැකියාවක් කළා.
තුෂිනිට භාෂා කීපයක් කතා කරන්න පුළුවන් නේද … ?.
සිංහල , ඉංග්‍රිසි සහ ඉතාලි භාෂා ගැන පූර්ණ දැනීමක් තියෙනවා. ජර්මන් සහ ස්පාඤ්ඤ භාෂාවන් කතා කරන්නට පුළුවනි . ඉතාලියේදී මම කළ රැකියාවට භාෂා ඥානය ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
තුෂිනි නිළිකමට එක්වීම සුවිශේෂ සිදුවීමක් නේද.. ?
ඇත්තටම ඔවු.. මම පාසල් වේදිකාවේ වත් රඟපාලා තිබුණේ නැහැ.. ඒත් කාලයත් එක්ක කලාවට මොකක්දෝ ආශාවක් ඉබේම හිතට ඇතිවුණා.. ඉතාලියේ සැලුන් එකක සුමිත් පෙරේරා කියලා අයියා කෙනෙක් දවසක් මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා.. ස්වප්නා අක්ක තමයි මට සුමිත් අයියව අඳුන්නල දුන්නේ.. සුමිත් අයියා ලංකාවේ ඉන්න කා‍ලේ නිරූපන ශිල්පියෙක් . ඒ වෙද්දි මටත් රංගනය ගැන ආශාවක් තිබුණ හින්ද මම කැමතියි කිව්වා. රංගන ශිල්පි උදිත් අබේරත්න සුමිත් අයියගේ යාළුවෙක් . ඒ හරහා මට උදිත් අයියව අඳුනගන්න ලැබුණා . උදිත් අයියාට දුරකතනයෙන් කතාකළාම මට චාමර සමරවික්‍රම මහතාව අඳුන්නලා දුන්නා. ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ.. ඒ මහතා “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා කියලා.  මගේ ‍පොටෝස් ටිකක් එවන්න කියලා කියපු නිසා මමත් නිකමට වගේ ‍පොටොස් ටිකක් යැවුවා. ඊට පස්සේ මට කතාකරලා මගෙ රඟපෑම් ඇතුළත් වීඩියෝ එකක් එවන්න කිව්වා. ඒ සද්දා මංගල සූරිය බංඩාර මහතා. ඒ වෙද්දි මම “හාරකොටිය “ ටෙලි නාට්‍යයට වහවැටුණු රසිකාවියක්.. මම “හාරකොටිය” ටෙලි නාට්‍යයේ කොටසක් රඟපාලා වීඩියෝ එකක් යැවුවා.. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් දුරකතනයෙන් කතාකරලා මාව “කෝටිපතියෝ” ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතයට තෝරාගෙන තියෙනවා කියලා කිව්වම මට හිතාගන්නවත් බැරිවුණා.. මම තාත්තත් එක්ක ලංකාවට ආවේ “කෝටිපතියෝ” රඟපාන්න . දැන් මමයි තාත්තයි ඉන්නේ ලංකාවේ .
පාසල් වේදිකාවේවත් රඟපාලා නැති තුෂිණිට හා හා පුරා කැමරාවක් ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කරද්දී දැනුණේ මොන විදියේ හැඟීමක්ද .. ?
මට මුලින්ම රඟපාන්න තිබුණේ මගේ පෙම්වතා මිය ගියාට පස්සේ හඬාවැටෙන ජවනිකාවක් . මුලදී පුංචි තැති ගැන්මක් තිබුණා . ඒත් ශිවගුරුනාදන් සර් මාව හොඳින් මෙහෙයවූවා.. දෙපාරක් විතර ඒ ජවනිකාව රූගත කළා.. මට මේ ටෙලි නාට්‍යයේදී ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්න අවස්ථාව හිමිවුණා.. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා..
“කෝටිපතියෝ” ඉවරවෙලා ආයෙමත් ඉතාලියට යනවාද….?
ඇත්තම කියනව නම් මම රඟපාන්න ආසයි . මම කැමතියි දිගටම ලංකාවේ නතරවෙලා වෘත්තිය නිළියක් වෙන්න.
මේ වන විටත් “කෝටිපතියෝ” නිසා ඔබට ඒ ගමන් මග සැකසිලා නේද .. ?
 මේ වනවිටත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා.. ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා .චිත්‍රපටයට ආරාධනා ලැබෙද්දී මම “කෝටිපතියෝ” රූගතකිරීම්වල හිටියේ. ඒ නිසා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට සිදුවුණා..මේ වෙද්දී “පිං” ටෙලි නාට්‍යයට එක්වෙලා ඉන්නවා. තවත් ටෙලි නාට්‍යය සඳහා ඉදිරියේදී එක්වේවි. “කෝටිපතියෝ” සඳහා එක්වන විට මම රඟපෑම ගැන  කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.. මේ කටයුත්තට එකතුවුණාම අපිට ප්‍රවීණ පිරිස් සමගත් වැඩ කරන්න සිදුවනවා. එහිදී අපිටත් අපේ රංගනය ඒ අය සමග ඒ මට්ටමින්ම පවත්වාගන්න වෙනවා. මම කැමතියි යම් අවබෝධයක් ඇතුව මේ තුළ රැඳෙන්න . ඒ හින්දා රංගනය ගැන යම් හැදෑරීමක් කරන්නත් මගේ අදහසක් තියෙනවා.
බොහෝ නළු නිළියන් පවසන දෙයක් තමයි රංගනයේදී තෝරා ගැනීම් කරන බව. ඔබත්  දායක වෙන්නේ තෝරා බේරාගත් නිර්මාණවලට විතරද . ?
 මම මගේ ගමන පටන් ගත්තේ හොඳ තැනකින්. ඒ හින්දා දායක වන නිර්මාණ ගැන හිතන්න වෙනවා. එහිදී යම් තෝරාගැනීමක් කරන්න වෙනවා.
සරල විනෝදාත්මක චිත්‍රපටයක මල් ගස් වටේ දුවන පෙම්වතියගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබුණොත් එය බාරගන්නවාද..?
 ලැබෙන නිර්මාණය සරල විනෝදාත්මක චිත්‍රපටයක්ද එහිදී මල් ගස් වටේ දුවන්න සිදුවනවාද කියන එක මට ප්‍රශ්නයක් ‍නෙවෙයි. නමුත් එතැනදී කරන්න තියෙන්නේ මල්ගස් වටේ දුවන එක විතරක්ම නම් නිර්මාණයේ ගැඹුරක් නැත්නම් මම එය බාරගන්නේ නැහැ. නිර්මාණය තුළ සහ මට රඟපාන්න තියෙන චරිතය තුළ යම් ගැඹුරක් තියෙනවා නම් මම එය භාරගන්නවා.
ආදරය ගැන විවාහය ගැන කතාකරන්න කැමතිද … ?
මට තවම ප්‍රේමවන්තයෙක් නැහැ . යෝජනා නම් ඇවිල්ල තියෙනවා . ඒත් මම තවම ඒ ගැන හිතුවේ නැහැ . දැන් නම් මම කලාව තුළ ගමනක් යන්න සූදානම් වෙලා ඉන්න හින්දා ඒ දේවල් ගැන හිතන එක ටිකක් කල් දාන්න වෙයි .

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Related posts

අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලය

Shiran Viraj

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

Shiran Viraj