අප ජීවිත කාලයෙන් වැඩි කොටසක් රාජකාරිය කරන ස්‌ථානයේ ගතකිරීමට සිදුවන බව කවුරුත් හොඳින් දන්නා සත්‍යයකි. අප රාජකාරිය කරන ස්‌ථානයේ ගොඩනැඟෙන පරිසරය අප කායික හා මානසික සෞඛ්‍ය තීරණය වන්නා වූ අති ප්‍රබල වැදගත් සාධකයකි. එම පරිසරය කොතරම් දුරට අපගේ කායික හා මානසික සෞඛ්‍ය කෙරෙහි සුබවාදීව බලපාන්නේද? එය අසුබවාදී නම් අපේ මානසික සෞඛ්‍ය පිරිහීමට බලපාන්නේද? එම පිරිහීම තුළින් අපගේ ඵලදායිතාවය පහළ වැටීමට බලපාන්නේද? එසේම ඒ තුළින් අප තුළ ගොඩනැඟෙන කායික හා මානසික රෝගවලට සෘජුව හා වක්‍රාකාරව බලපාන්නේ කෙසේද යන කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්‌තෝබර් 10 වැනිදාට යෙදෙන මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය යොදාගෙන තිබෙනවා.
මානසික සෞඛ්‍ය පිරිහීමට ලක් කරන ඒක පුද්ගල පලදායීතාවය හීන කරන පුද්ගලයාගේ පෞරුෂයේ අක්‍රමිකතා ඇති කරන “මානසික රෝග” වැළඳෙන ආකාරය සහ ඒ සඳහා කරන ප්‍රතිකාර අප දේශීය වෛද්‍ය ක්‍රමයේ කෙබඳු ආකාරයට සකස් වී ඇතිද යන්න දැන ගැනීමට අප ලංකාවේ සුප්‍රසිද්ධ දේශීය පාරම්පරික මානසික රෝග වෙද පරම්පරාවේ 7 වැනි පරම්පරාවට අයත් නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරි මානසික රෝග විශේෂඥ වෛද්‍ය සමන් එස්. හෙට්‌ටිගේ මහතාගෙන් මේ පිළිබඳව දැනුවත් වීමට තීරණය කළා.
මානසික රෝගයක් යනු සමාජයේ ඕනෑම ජන කොට්‌ඨාසයකට, ඕනෑම සංස්‌කෘතියකට, ඕනෑම සමාජ ආර්ථික මට්‌ටමකට, වර්ණ භේද, ලිංග භේද, ආගම් භේද, කුලමල නොතකා වැළඳිය හැකි රෝගී තත්ත්වයකි. පසුගිය හතළිස් වසර ඇතුළත මානසික රෝග වැඩිවීමේ ප්‍රවණතාව දෙස බැලුවහොත් එය ඉතාම ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති බව පෙනී යයි. මෙයට හේතුව වශයෙන් අප රට තුළ ඇති වුණු සමාජීය වෙනස්‌කම් ව්‍යසනයන්, යුද්ධය, කෘමිනාශක භාවිතය, ජනගහනය ඉහළ යැම නිසා ඇතිවන තදබදය, නාගරීකරණය, දූෂිත වූ ආහාරපාන භාවිතය වැනි හේතු පාදක ගෙන හැර දැක්‌විය හැකිය. රටක ඇතිවන යුද්ධය සහ ජාතිවාදී අරගල, උදාහරණය හැටියට අප රටේ ඇතිවුණු හැත්තෑඑක ආයුධ සන්නද්ධ කැරැල්ල, අසූතුන ජාතිවාදී කෝලාහල සහ උතුරේ ජනවාර්ගික යුද්ධය, අසූඅට අසූනවය දකුණේ පැතිර ගිය යුද්ධය, භීෂණකාරී වාතාවරණයද 2004 දෙසැම්බර්Êමස ඇතිවූ සුනාමි ව්‍යසනය බඳු ස්‌වාභාවික විපත්ද පුද්ගලයන් තුළ කාංසා, අක්‍රමිකතා, විශාද ජනක ප්‍රතික්‍රියා, මානසික රෝග ඇතිවීමට බලපාන බවත්, ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමට හේතු සාධක වන බවත් වැඩි දෙනකුගේ අවධානය යොමු නොවූ කරුණකි. මෙම ඉහත කී සාධක අප රටේ මානසික සෞඛ්‍ය පිරිහීමෙහිලා කොතරම් දුරට බලපෑමක් ඇති කර තිබෙනවාද කිවහොත් අප රටේ සමස්‌ත ජනගහන ප්‍රතිශතයෙන් 15% – 20% පමණ කිසියම් හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බවත්, සෑම පවුල් 4 කින් 1 පවුලක මානසික රෝගියෙක් සිටින බවත් සොයාගෙන ඇත.
මානසික රෝග ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වී ඇති සාධක අරගෙන බැලුවොත් නවීන දත්තානුසාරයෙන් සනාථ කරන්නේ ලෝකයේ මානසික රෝගීන් මිලියන 450 ක් පමණ සිටින බවයි. මෙයින් විශාදය නමැති මානසික රෝගය මිලියන 150 ක්‌ද, අපස්‌මාරය මිලියන 50 ක්‌ද, හීන්නොන්මාද රෝගීන් මිලියන 24 ද සිටින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ මෙම රෝගීන් 60,000 ක් පමණ සිටින බව වාර්තා වෙයි.
එක්‌සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ වාර්ෂික අයවැයෙන් 12% වෙන්කොට ඇත්තේ මානසික රෝගීන්ටයි. උතුරු ඇමරිකාවේ පමණක් විශාදය නිසා අහිමි වන ඵලදායිතාවය නිසා ලබන පාඩුව වාර්ෂිකව ඩොලර් බිලියනයකි. විශාදය නමැති රෝගය ලොව මිනිසුන් පීඩා විඳින දරුණුතම රෝග දහය අතරට එක්‌වෙයි. එය එතැනින් නැවතී නැත. වසර 2020 වන විට මෙම ලැයිස්‌තුවේ දෙවැනි ස්‌ථානයට පත්වන බව ගණන් බලා ඇත. එය දෙවැනි වන්නේ හෘද රෝගවලට පමණි.
ආයුර්වේදයේ මානසික රෝග මෙලෙසින් හඳුන්වාදී ඇත.
සිත් තුළ හට ගැනෙන මනුසිත පෙර ලමින
උත්තම ගුණ නසන රළු බව වඩ වමින
පිත් සෙම් වාත උඩුකුරු වී මත් කෙරෙන
සත්නට උමතු රෝගය මෙලෙස වැළඳෙන
වැකුණු කුණු නොසම නොනිසිව පියන ලද
පිලිනු නොයෙක් විස විපරිත ආහාරයද
බමුණු ගුරුත් දෙවියන්හට ගැරහුමද
කරනු මෙලෙස යෙදුමෙන් සිහි මුලාවෙද
මානසික රෝග ලක්‍ෂණ
මානසික රෝග වනාහි පුද්ගලයකු ස්‌වකීය සමාජයේ නෛතික, සම්ප්‍රදායික, ආගමික, සංස්‌කෘතික, සදාචාරාත්මක සම්මතවලට අනුකූල වන පරිදි ක්‍රියා කිරීමට අපොහොසත් කරවන සුළු කවර හෝ මානසික විපර්යාසාත්මක තත්ත්වයකි. මෙවැනි වූ ආකාරයක මානසික වශයෙන් වික්‍ෂිප්ත වූ පුද්ගලයා මූලික වශයෙන් ඔහුගේ මනසේ ඇතිවන මානසික අස්‌වාස්‌ථ්‍ය හේතුවෙන් යම් යම් චර්යාත්මක අසමාන්‍යතා පෙන්නුම් කිරීමට පටන් ගනී.
අප දේශීය පාරම්පරික උමතු රෝග චිකිත්සාවේ වර්ගීකරණයට අනුව මානසික රෝග 22 කට බෙදා වෙන් කර ඇත. වාතදී දොaෂයන්ගේ විකෘතින්ගෙන් සෑදෙන මානසික රෝග, තුන්දොස් කිපීමෙන් සෑදෙන උග්‍ර ගණයේ සන්නිපාතජ රෝග, රත්පිත් උමතු රෝග (දූෂිත වූ රක්‌තය සහ පිත ඌර්ධවගත වීමෙන්), සූතිකා උමතු රෝග (දරු ප්‍රසූතියෙන් පසු එන පශ්චාත් ප්‍රසව උමතු රෝග), දුබලකමෙන් එන උමතු රෝග (වයෝවෘද්ධ අවධියේදී වැළඳීමට ප්‍රවණතාවක් ඇති අමතක වීම , නින්ද නොයැම, හැසිරීම් රටාවේ පෙන්නුම් කරන යම් යම් විපර්යාස සහිතව මුලික වශයෙන් පෙන්නුම් කරන චිත්ත වික්‌ෂේපය එසේ නැතිනම් සෛල පරිහානියට පත් වීමේ රෝගය, මදාත්‍යය උමතු) (අධික මත්පැන්, මත්aකුඩු නිසා වැළඳෙන උමතු රෝග), භූත උන්මාද (යක්‍ෂ, භූත, ප්‍රේතයන් වැනි නොපෙනෙන බලවේගවලින් ඇති කරන්නා වූ ලෙඩ රෝග ලක්‍ෂණ යෑයි විශ්වාස කරන උදා( මායාකාරී ශබ්ද ඇසීම, මායාකාරී දර්ශන පෙනීම, කටහඬවල්වලින් රෝගියාට කතා කරනවා මෙන් ඇසීම, මෝහයෙන් සහ අස්‌වාභාවික විශ්වාසයන් ඇති වීම රෝග ලක්‍ෂණ සමග එන උමතුරෝග).
සිත් පෙරලුම් (ක්‍ෂණික සිත් බිඳීමකින්, කෙනකුගේ වියෝ දුකකින් බලාපොරොත්තු නොවූ ආකාරයේ ව්‍යසනවලට මුහුණ දීමෙන් ඇතිවන මානසික විපර්යාසයකි. මීට අමතරව ඉහත සඳහන් කළ සියලුම රෝගවලට පොදු වන රෝග ලක්‍ෂණ අස්‌ථාන බිය සැක, නින්ද නොයැම, තනියම කතා කිරීම, සිනාසීම, අධික කේන්තිය, වටපිට සිටින අය පිළිබඳ සැකය, අන් අයට නොඇසෙන කටහඬවල් රෝගියාට ඇසීම.)
divaina.com
previous post