28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වැලිකඩ බන්ධනාගාර ගැටුම- නන්දිමාල්ගේ නිවසට වෙඩි ප්‍ර‍හාරයක්

වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරුගේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන්නේ සුදේෂ් නන්දිමාල් නැමැත්තායි.
සුදේෂ් නන්දිමාල් මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.
නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එය මෙසේය,
වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල් ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක්
වැලිකඩ අපරාධය වසන් කිරීම සඳහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බව නැවත නැවතත් තහවුරු වී ඇත – කීර්ති තෙන්නකෝන්
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට  ඊයේ රාත්‍රී 11 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී ඇත.   ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි අතර, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇත.
වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්,  දැනට සේවයේ නිරත සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නැවත තැවතක් ඉල්ලා සිටී.  වත්මන් රජය හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගේ ධූර කාලය තුළ වසර දෙකකට වැඩි කලක් වැලිකඩ ඝාතන වාර්තාව හමස් පෙට්ටියේ දාමා සිටියේය.
වැලිකඩ අපරාධය වසන් කිරීම සදහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බව නැවත නැවතත් තහවුරු වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2012 නොවැම්බර් මස 11 දින වැලිකඩ බන්ධනාගාරයේ දී, නම් ලැයිස්තුවක් රැගෙන ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.  මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයින්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත.  නන්දිමාල් මහතා එම සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් මහතා පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත.
ඊයේ දිනයේ පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය‘ඊයේ නන්දිමාල් ගේ සාක්ෂි සටහන් කර තිබුණි.  ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩ තහනමට ලක්වී සිටි නන්දිමාල් ට පසුගිය දා සේවයේ පිහිටවනු ලැබීය.  දුම්රිය ප්‍ර‍ධාන ඉංජිනේරු  නිලන්ත ප්‍ර‍නාන්දු විසින් ඔහු පළමුව මහනුවර මාරු කරුනු ලැබීය.  මහනුවර දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැක මතුව තිබු බැවින් නන්දිමාල් මහනුවර සේවයට වාර්තා කළේ නැත.   දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ‘අපේ ආරක්ෂක ලේකම් (ගෝඨාභය රාජපක්ෂ) හිරේ යවන්න හදනවා‘  තමුසෙට හිරකරුවන් මැරුණාට මොකද? යැයි තමාට තර්ජනය කළ බව නන්දිමාල් විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ පැමිණිලි කොට තිබුණි.  මෙම පැමිණිල්ලෙන් පසුව නන්දිමාල් කොළඹ දුම්රිය අංගනයක සේවයට යෙදවූ අතර ඔහුට එහි ද ආරක්ෂාවක් නොමැති බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කොට තිබුණි. මේ පිළිබද විමර්ශනයකින් පසුව,  පසුගිය සතියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නන්දිමාල් ඔහුගේ පැරණි සේවා ස්ථානය වන ‘මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ‘ සේවයේ යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.
නන්දිමාල් මහතා විසින් අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්. 12 දින විභාගය ගැනීමට නියමිතය.    ඔහු ඝාතනය කිරීමේ උත්සාහය පිළිබද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ යොමු කර තිබූ පැමිණිල්ල සැප්. 5 (ඊයේ) පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වුණි. එහි සාක්ෂි දී පැමිණි නන්දලාල් නිවසේ නිදා ගෙන සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වසර 5 කට ආසන්න කාලයක් රජය වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත.  එමෙන්ම, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දැනට පොලිස් සේවයේ නිරත නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පවත්වා නොමැත.  වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සාක්කිරුවන්රුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය දිගින් දිගටම ඉල්ලීම් කර ඇති නමුත්  වත්මන් රජය වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධානීන් රැකීමට කටයුතු කරන බව අවධාරණය කරයි.
වැලිකඩ ඝාතනයේ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසත්, මෙම ඝාතනය පිළිබද දැනටමත් ඉදිරිපත් වී ඇති සාක්ෂිමත දැනට පොලිස් සේවයේ නිරතව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා රජයට බල කර සිටී.
මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
2017 සැප්. 5
(under the courtesy of adaderana news web)

Related posts

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

Shiran Viraj

නව ගිවිසුමක් යටතේ ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙනයනවා

Shiran Viraj

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Shiran Viraj