2026-09-07
mediahumanrights.lk
Local NewsNews

දිවයින වටා පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප‍්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

අද (29) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැඩි වශයෙන් වැසි ඇද හැලෙනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටයි.
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කිරීම ඊට හේතුවී තිබෙනවා.
එහි බලපෑමත් සමඟ දිවයින හරහා අහස වලාකුළින් බරව පවතින අතර වැසි හා සුළං තත්වයන් ද අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න ප‍්‍රකාශ කළේ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල සුළං තත්වය ද ඉහළ යා හැකි බවයි.
මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 15ක පුද්ගලයින් හාරලක්ෂ හැටහතර දහස් 477 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 158ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 108 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.
මේ අතර දිස්ත‍්‍රික්ක 07කට පැනවූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත‍්‍රික්ක 07යි.
වැසි ඇති වූ වහාම නායයාම් අවදානම් සහිත ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙසටයි ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
මේ අතර විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය අඛණ්ඩව තවදුරටත් මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.
අවදානමට ලක්ව ඇතැයි පැවසුණු බොල්ගොඩ ගඟේ පනාපිටිය වේල්ල මේ වනවිට සම්පූර්ණයෙන්ම ස්ථාවර තත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ජලය උපරිම මට්ටමේ තිබුණ ද ඒ පිළිබඳ බියවිමට අවශ්‍ය නොවන බවයි ජනතාවට දැනුවත් කෙරුණේ.
ඊයේ පස්වරුවේද මෙම වේල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශයේ යුද හමුදා මෙහෙයුම් සිදු කෙරුණා.
ඉදිරියේ දී තවදුරටත් වැසි ඇද හැළුණහොත් ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවයි යුද හමුදාව කියා සිටියේ.
ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ භට පිරිස් දැනටමත් එම ස්ථානයේ සිටින බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj

හබරණ මාරක රිය අනතුරක්

Shiran Viraj

අලූත් අවුරුදු විශේෂ ප‍්‍රවාහන සේවා අදත් – දුම්රිය මගීන්ට අනතුරු ඇගවීම්

Shiran Viraj
Translate »