26 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි

කලා ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් අය එනවා, යනවා. නමුත් ප්‍රේක්ෂකයන් අතර හැමදාමත් රැඳෙන්න පුළුවන් වෙන්නේ එහෙමත් කෙනකුට පමණයි. ඒ කිහිප දෙනා අතරින් තවමත් ප්‍රේක්ෂකයින් ගේ හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් සිටිනවා. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි. ඇය අදටත් අපේ හදවතේ රැඳිලා ඉන්නවා. සුපුරුදු සුන්දර සිනහවෙන් ම ඇය අද රසඳුනේ පිළිසඳරට එකතු කර ගත්තා
කොහොමද ඉතිං තොරතුරු?
මේ දවස්වල විවේකය හරිම අඩුයි. මේ මාසේ වෙඩින් නිසා ගොඩක් කාර්යබහුල වෙලා. සැලෝන් එකේ වැඩත් එක්ක මේ මාසෙට වෙඩින් හයක් ,හතක් වගේ භාර අරගෙන තියෙනවා. ඒ වගේම අලුත් ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරගෙන යනවා.
කතා කරමු රංගන කටයුතු ගැන?
අලුත් සිනමා නිර්මාණ දෙකක වැඩකටයුතු පසුගියදා ඉවර වුණා. මේ දිනවල ‘රතු පිච්ච’ කියන ටෙලි නාට්‍ය විකාශය වෙනවා. එහි වැඩකටයුතු කරගෙන යනවා.
ආරංචියේ හැටියට සැලෝන් එකේ වැඩ කටයුතු නම් ජයටම කරගෙන යනවලු.
මේ ටිකේ ලොකු වැඩකට යොමු වෙලා ඉන්නේ. ඒ මම ඉගෙන ගත්ත දැනුම, අනිත් අයට ලබා දෙන්න ඕන කියලා තීරණය කළා. ඒ නිසාම ඒ සඳහා ලොකු වැඩ පිළිවෙළක් පටන් ගත්තා.
කියමු නේද ඒ අලුත්ම වැඩ සටහන ගැන?
මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ඇවිත් අවු.10 ක් වෙනවා. මම හිතුණා මම දන්නා දැනුම ලබා දෙන්න ඕන කියලා. රූපලාවන්‍ය ගැන ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අයට මම එක් දින වැඩමුළු ( One Day Workshop) කරන්න තීරණය කළා. එහි පළමු අදියර පටන් ගත්තා..එය ගොඩක් සාර්ථක වුණා. දෙවැනි අදියරත් එහෙමයි. ළඟදීම තුන්වැනි අදියරත් එනවා. රූපලාවන්‍ය ගැන ආසාවක් තියෙන ඕනෑම කෙනකුට රසඳුනට කතා කරලා ඒ වැඩමුළුවට සහභාගී වෙන්න පුළුවන්.
ඔබ ක්ෂේත්‍රයට ආව කාලයත් එක්ක, අද තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?
නළු නිළියන් අලුතින් එන්න ඕන. මොකද හැමෝටම හැමදාම එක වගේ ඉන්න බැහැ. නමුත් ඉතිං කලාව කියන්නේ බොහොම සුන්දර තැනක්. ඒකට හොද දැනුමක් , බුද්ධියක් තියෙන්න ඕන. ඕනෑම කෙනකුට එන්න හරිම ලේසියි. රැඳෙන්න තමා අමාරු. රැඳෙන්න නම් දැනුම, බුද්ධිය වගේම හැකියාව කියන හැමදෙයක්ම පවතින්න ඕන. අපි මේ තැනට ආවේ අඩු වයසින්, ඒ කාලේදී අපි ඉගෙන ගත්තා. ඒ නිසා ගොඩක් දේවල් කරන්න ලැබුණා. ඒ ඉගෙන ගත්තා දේ නිසා පුංචි තිරයේ හැම සම්මානයක්ම ගන්න වරම් ලැබුණා.
ඔබ කියන්නේ අද ක්ෂේත්‍රයට එන අයට දැනුම, බුද්ධිය කියන දේ අඩුයි කියලද?
මම එහෙම කියන්නේ නැහැ.ඒක පේන්නේ ඒ අය කරන දේත් එක්ක. තව කල් යන්න ඕන ඒ අය කොතැනද ඉන්නේ කියලා දැන ගන්න.
නවක රංගන ශිල්පිනියකුට ඔබ දෙන පණිවුඩය…
අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. පත්තර කලාවේ හිටියත්, රූපවාහිනී තිරයේ හිටියත්, වේදිකාවේ හිටියත් සහ අපි මොන වෘත්තියේ හිටියත්, ඉගෙන ගන්න ඕන. ඉගෙන ගෙන දැනුමක් ඇතිව දෙයක් කරන්න ඕන. එහෙම කළොත් විතරයි පවතින්න පුළුවන්. ගෙදර ඉන්න බැරිකමට, O/L පාස් වුණ ගමන් නැත්නම් හිතවත්කමට කියලා එන අය ඇවිල්ලා තමා මේවා විනාශ කරන්නේ. මේ දේවල් වලට ආදරේ කරන, ඒ ගැන හරි වැටහීමක් තියෙන අය ඉගෙනගෙන, කරගෙන යනවා නම් මේ ක්ෂේත්‍රයේ ඉන්න පුළුවන් සහ පවතින්න පුළුවන්.
කලාව කියන දේ පිරිහීමට ලක් වෙලා තියෙනවද?
මෙහෙමයි, පිරිහීමක් කියලා මම කියන්නේ නැහැ. විවිධ අයනේ මේ කලා ක්ෂේත්‍රයේ ඉන්නේ. මේකට කිසිම උගත්කමක් නැහැනේ. අට පාස් වුණ කෙනකුට නැත්නම් පාසල් ගිය නැති කෙනකුට වුණත් කලා ක්ෂේත්‍රයට එන්න පුළුවන්. ඉතිං විවිධ අය ඉන්නවා. අපි කරන කියන දේවල් අනුවයි ඒ දේ තීරණය වෙන්නේ. අද පුංචි තිරය ගත්තොත් හොඳ නිර්මාණ බිහිවෙන ප්‍රමාණය අඩුවෙලා තියෙනවා.
ඔබ කලා ක්ෂේත්‍රය ගැන දුකින්ද කතා කරන්නේ?
දුකක් තියෙනවා. මේ අපේ වෘත්තියනේ.
ආපස්සට හැරිලා බැලුවොත්, මේ දක්වා ආව ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක වාසනාවක්. ඒ තරම් අඩු වයසින් මට කලා ක්ෂේත්‍රයට එන්න ලැබීම ම ලොකු වාසනාවක් කියලා හිතෙනවා. පොඩි වයසේදී කලාවට ආවත්, මම අවු.10 ක් එක දිගට කලාව ඉගෙන ගත්තා. ඒ ගෞරවය මගේ අම්මාට හිමි වෙන්න ඕන. මගේ අම්මා තමා මාව හරි මාර්ගයට යොමු කළේ. අපි ඉගෙන ගෙන වේදිකාව, පුංචි තිරය සහ සිනමාව යන තුනටම සම්බන්ධ වීම නිසා, ඒ දේවල් හොදින් කරනගෙන ගිය නිසා අදටත් අපි පවතිනවා සහ අදටත් අපේ ඉල්ලුම එන්න එන්න වැඩි වෙලා තියෙනවා.
පුංචි පුතා නිසා කාලයක් කලාවෙන් ඈත් වෙලා සිටි ඔබ දැන් නැවතත් ඇවිත්…
පුතාට දැන් අවු.11 ක් වෙනවා. එයා සත්රු කාවීජ්. ළඟදි එයාට ඩෙංගු හැදුණ නිසා හොඳටම අසනීප වෙලා හිටියා. ඒ වෙලාවේ මම හැමදේකින්ම අයින් වෙලා මමයි මගේ මහත්තයයි දෙන්නම එයාත් එක්කම හිටියා. මේ වෙලාවේ විශේෂයෙන් ස්තුති කරන්න ඕන, පුතාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයට. දැන් තමා එයා පාසල් යන්නේ. එයා රාජකීය විද්‍යාලයේ , 7 වසරේ ඉගෙන ගන්නවා. අපේ ලෝකේ පුතා තමා. ඒ නිසාමයි එයාට අවු. 10 යන තුරු මම කොලඹින් පිට කිසිම නාට්‍යයට දායක වුණේ නැත්තේ. නමුත් දැන් මගේ පුතා ලොකුයි. ඒ නිසාම මම දැන් පුළුවන් විදියට ලැබෙන නිර්මාණ වලට දායක වෙනවා විශේෂයෙන් කියන්න ඕන,මගේ සැමියා සුමිත් මගේ වැඩ වලට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසයි මම දවසින් දවස ඉහළට යන්නේ.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්ව‍යි! (PHOTOS)

Shiran Viraj

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Shiran Viraj

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

Shiran Viraj