31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

කලාව නිසා මට හැමදේම ලැබුණා

වත්සලා ආයෙත් ක්ෂේත්‍රයේ වැඩත් එක්ක කාර්යබහුලවෙලා නේද?
ඔව්. මේ දවස්වල හරිම කාර්යබහුලයි. කාලෙකට පස්සේ ගොඩක් වැඩ කළා. මම අලුතින් සම්බන්ධ වුණ ‘ආදර නෙතු’ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. අවුරුදු වැඩසටහන්වලටත් සම්බන්ධ වෙනවා. ඉතිං කලා කටයුතුයි පෞද්ගලික ජීවිතේ වැඩකටයුතුයි එක්ක ගොඩක් කාර්යබහුලයි.
ලොකු කාලයක් රංගනයෙන් අයින්වෙලා හිටියා නේ, කොහොමද ඒ කාලය ගෙවා ගත්තේ?
ඔව්. අවුරුදු හතරක් මම රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. බබාගේ වැඩ එක්ක තමයි ඒ කාලය ගෙවුණේ. ඉතිං දන්නෙම නැතුව කාලය ගෙවිලා ගිහින්.
පවුල වෙනුවෙන් එච්චර කාලයක් වෙන් කරපු එක ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම, දරුවෝ පොඩි කාලේ අපි දරුවන් එක්ක ඉන්න ඕන. මොකද ඒ කාලේ ආයෙත් එන්නේ නෑනේ. වැඩ නම් කොයි කාලෙත් කරන්න පුළුවන්. දැන් දුවට දේවල් තේරෙනවා. අමාරුම කාලය දැන් ගෙවිලා ඉවරයි.
පුංචි හිතෛෂිගේ හුරතලෙත් දැන් වැඩි ඇති නේද?
ඔව්. ඇත්තටම ගෙදර ඉන්නකොට මම එයත් එක්කම තමයි ඉන්නේ. දැන් දුවට අවුරුදු තුනහමාරයි. මේ එයාගේ හුරතල්ම වයස. දැන් එයා කතා කරනවා. හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවා. හරිම සුන්දරයි එයත් එක්ක ගෙවෙන ජීවිතේ.
හිතෛෂි වත්සලාටද ප්‍රසංගටද වැඩිපුර ළැදි?
එයා දැන් නම් වැඩිපුර ළැදි එයාගෙ තාත්තට. කොහොමත් දුවලා පොඩි කාලේ තාත්තටනේ ළැදි. හැබැයි දුවලා ටික ටික ලොකුවෙද්දී අම්මව එයාලගේ යාළුවෝ කරගන්නවා.
අවුරුදු හතරක් අලුත් වැඩවලට සම්බන්ධ නොවුණාට, වත්සලාව කාටවත් අමතක වෙලා නැතුව ඇති නේද?
මම ක්ෂේත්‍රයේ නැහැ කියලා කාටවත් වැඩිය දැනුණේ නෑ. මොකද මම ටෙලි නාට්‍යවල දකින්න නොලැබුණාට අනෙක් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ වගේම මම කලින් කරපු ජනප්‍රිය නාට්‍ය දෙකක් නැවත විකාශය වුණා. ඒ නිසා ගොඩක් අයට මාව අමතක වුණේ නැහැ.
කාලයකට පස්සේ පුංචි තිරයේ දකින්න ලැබෙද්දි මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
ගොඩක් අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. එයාලා කියන්නේ දිගටම රඟපාන්න කියලා.
දැන් දිගටම රංගන කටයුතුවලට කාලය වෙන් කරයි වගේ?
මට තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. හැබැයි ඒ ආරාධනාව ගැන තව චුට්ටක් හිතලා බලන්න ඕන. කොහොම වුණත් මම කලාව අතහරින්නේ නෑ.
ඒ තරම්ම වත්සලාට රංගනය ඕනෙද?
මගේ සැමියා මට හම්බවුණේ කලාව නිසා. මට හැමදේම ලැබුණේ කලාව නිසා. ඒ නිසා මම කලාවට ආදරෙයි. කලාවෙන් අයින් වෙන්න කැමැති නැත්තේ ඒ ආදරේ නිසා.
වත්සලා දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවට සැමියා අකැමැති නැද්ද?
මම ගොඩක් කාර්යබහුල වෙනවට එයා කැමැති නැහැ. හැබැයි එයා මට ලොකු සහයෝගයක් දෙනවා. මම වැඩ භාරගනිද්දිත් හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් විදියට තමයි වැඩ භාරගන්නේ. මම දවස් දෙකක් ෂූටිං ගියොත් දවස් දෙකක් ගෙදර ඉන්න කාලය හදාගන්නවා.
පවුල ගැන ගොඩක් හිතනවා නේද?
ඔව්. මොනදේ කළත් පවුල නැති වුණොත් වැඩක් නෑ. එයා මගේ ආසාවට ඉඩදීලා තියෙනවා. ඒ නිසා මමත් එයාලා වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න ඕන.
වත්සලාට ඉස්සර වගේම දැනුත් ක්ෂේත්‍රයේ අවස්ථා ලැබෙනවද?
ඔව්. ඉස්සරටත් වඩා දැන් අවස්ථා ලැබෙනවා. ඒත් ගොඩක් කාර්යබහුල වෙන්න බැරි නිසා හොයලා බලලා පුළුවන් දේකට සම්බන්ධ වෙනවා. මම වැඩක් භාරගත්තොත් ඒ වගකීම පැහැර හරින්නේ නෑ. ඒ නිසා වැඩේට සාධාරණයක් කරන්න බැරිනම් මම ඒ වැඩේ භාරගන්නේ නැහැ.
ඒ කියන්නේ දැන් ලොකු තෝරා බේරා ගැනීමක් කරනවාද?
ඇත්තටම ඉස්සර නිදහස්. මොකද වගකීම්, යුතුකම් තිබ්බේ නැහැ ඉෂ්ට කරන්න. ඒත් දැන් මම බිරියක්, මවක්, ඉතිං පවුල ගැනත් මම හිතන්න ඕන. කාලය තමයි ගොඩක් දේවල්වලට හරස් වෙලා තියෙන්නේ.
දැන් නංගිත් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ නිසා දෙන්නා අතරේ තරගයක් ඇතිනේ?
නැහැ. එයා එයාට ලැබෙන වැඩ කරනවා. මම මට ලැබෙන වැඩ කරනවා. දෙන්නටම ආරාධනා ලැබෙන දේවල්වලට දෙන්නම සම්බන්ධ වෙනවා. අපි තරග කරන්නේ නැහැ.
බුවනි මේ වෙනකොට රංගන ක්ෂේත්‍රයේ හදාගෙන ඉන්න තැන ගැන අක්කා විදියට වත්සලා සතුටු වෙනවාද?
අනිවාර්යයෙන්ම, එයා මේ ඉන්න තැන ගැන සතුටුයි. එයාට ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතිං ඒ අවබෝධයත් එක්ක එයා යන ගමන ගැන මට සතුටුයි.
වත්සලා තාමත් පුංචි තිරයේ පෙම්වතිය වෙන්නද කැමැති?
මම කැමැතියි වෙනස් වෙන්න. හැබැයි මට තාමත් ආරාධනා ලැබෙන්නේ පෙම්වතියගේ චරිතවලට, දඟකාර චරිතවලට. ඒ වගේ චරිතම ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්න ඇති.
ඇත්තටම මවක් වුණාට වත්සලා පෙනුමෙන් වෙනස් වෙලා නෑනේ?
ගොඩක් අය මට කියනවා හිටියට වඩා මම ලස්සන වෙලා, පොඩිවෙලා කියලා.
රූපය ගැන ගොඩක් සැලකිලිමත්වීමද ඔය පෙනුමේ රහස?
ඇත්තටම මම ශරීරය, පෙනුම ගැන හිතුවා. කන බොන දේවල් පාලනය කළා. බබා එක්ක කාර්යබහුල වුණත් මම රූපය ගැනත් හිතුවා.
නිළියක් නොවුණා නම් රූපය ගැන ඔච්චර නොහිතයිද?
හැමෝම ලස්සනට ඉන්න ආසයිනේ. මාත් ඒකට ආසයි. රංගන ශිල්පිනියක් නිසා මම තවත් ඒ ගැන හිතන්න ඕන. මොකද මගේ වෘත්තිය ජීවිතය තියෙන්නේ රූපය නිසානේ.
වත්සලාට ජීවිතේ මේතාක් ලැබුණු දේවල් ගැන සතුටුද?
මේ ලැබිලා තියෙන දේවල් ගැන ඇත්තටම මම සතුටුයි. මගේ පවුල් ජීවිතයේ මම සම්පූර්ණයි. මට අමුතුවෙන් තව එකතු කරගන්න දේවල් නැහැ. මේ ලැබිච්ච දේවල් රැකගන්න තමයි උත්සාහ කරන්නේ.
ජීවිතේ තව සැලසුම් ඇති නේද?
මට කවදාවත් ජීවිතේ ලොකු සැලසුම්, බලාපොරොත්තු තිබුණේ නැහැ. ජීවිතේ එන විදියට මුහුණ දුන්නා. එහෙම වුණා කියලා මට ජීවිතේ වැරදිලා නැහැ. හෙටටත් මට ලොකු බලාපොරොත්තු නැහැ. හැමදේම සමබර කරගෙන රංගන ක්ෂේත්‍රයේ වුණත් හිමින් ගමනක් යන්න තමයි මට ඕන.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..

Shiran Viraj

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Shiran Viraj

ලංකාවේ අයෙක් රසදියෙන් විදුලිය උපදවයි.. තම නිවස රසදිය විදුලියෙන් දුවයි..

Shiran Viraj
Translate »