mediahumanrights.lk
Local NewsNews

කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසි

මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව කරුණු දැක්වීම සඳහා ලබන අප්‍රේල් මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු හත්දෙනකුට නියෝග කරමින් අභියාචනාධිකරණය ඊයේ (23) නොතිසි නිකුත් කෙළේය.
එම උද්ඝෝෂකයින් සම්බන්ධයෙන් කර ඇති පැමිණිලි, ඒ සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශනවල වාර්තා පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එම වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.
සිය ආයතනය ඉදිරිපිට ආයතනයේ කටයුතුවලට බාධාවන අන්දමින් උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විසින් නිසි විමර්ශන සිදුකර නැති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගොනු කළ රිටි පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියම කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
කොටුව පොලිසියේ ස්ථානාධිපති සුමිත් ගුණරත්න, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති එස්. එම්. එල්. එම්. සූරියකුමාර, කොළඹ මධ්‍යම ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. එස්. සී. ද සිල්වා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එල්. එස්. පතිනායක, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර, එස්. එල්. ටී. හියුමන් කැපිටල් සොලුෂන් පෞද්ගලික සමාගම මෙහි වගඋත්තරකරුවෝ වෙති.
වගඋත්තරකාර එස්. එල්. ටී. හියුමන් කැපිටල් ආයතනයේ සේවකයන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෑන් පවර් සේවකයන් ලෙස කටයුතු කළ අතර ඔවුන් එහි ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස 26 දින උද්ඝෝෂණයක් ඇරඹූ බවද පෙත්සම්කාර සමාගම සඳහන් කර ඇත.
කොටුව පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතුවලට බාධා වන අයුරින් මෙම උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කොටුව පොලිසියට සිදුකර ඇති බව පෙත්සමෙහි සඳහන් විය.
එහෙත් එම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු කර නැති බව පැමිණිලි කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.
සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සහ ලක්ෂ්මන් පෙරේරා, ලක්මිණි වරුසවිතාන පෙත්සම්කාර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් පෙනී සිටියහ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..

Shiran Viraj

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Shiran Viraj

Tech News – BNZ flips switch on Apple Pay in New Zealand

Shiran Viraj
Translate »