2026-01-13
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩර් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
රුසියාවෙන් ආනයනය කළ පියයුරු පිළිකා ඖෂධයක් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නැගූ චෝදනාවලට පිළිතුරු දෙමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂක ජනරාල්වරයා,
“ඒකාබද්ධ විපක්ෂය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති චෝදනාවල සත්‍ය තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කළ යුතුයි. නැතිනම් ජනතාව තුළ වැරදි චිත්‍රයක් මැවෙනවා. රුසියාවෙන් ආනයනය කළ පියයුරු පිළිකා ඖෂධය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා මූල්‍ය අක්‍රමිකතාවයත් සිදු කළ බවට ඔවුන් චෝදනා කළා. එම ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමේදී තාක්ෂණික ඇගයීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළේ මමයි. මෙතෙක් කල් පියයුරු පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ආනයනය කළේ එක් බහුජාතික සමාගමක් පමණයි. මතභේදයට තුඩු දී ඇති ඖෂධය ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නේ රුපියල් 285,000 ක මුදලකටයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2016 වසරේ දී නව සැපයුම්කරුවෙකු ලියාපදිංචි කර තිබෙනවා. දන්ත වෛද්‍යවරයෙකු ලෙසත්, සෞඛ්‍ය අමත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මහතා ඊට කිසිදු මැදිහත්වීමක් සිදු කළේ නැහැ. ලියාපදිංචිය සිදු කළේ දිර්ඝ විශ්ලේෂණයකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසිනි. මෙම පියයුරු පිළිකා ඖෂධය ටෙන්ඩර් කැඳවීමෙන් පසු නව සැපයුම්කරු රුපියල් 144,000 කට මිල නියම කර තිබුනා. ඒ අනුව අවම ටෙන්ඩරයට ඖෂධ ගෙන්වීමට අවසර ලබාදුන් අතර, එමගින් විශාල මූල්‍ය වාසියක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබී තිඛෙනවා. කිසිදු මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මම ප්‍රකාශ කරන්න කැමැතියි. ඖෂධ සමාගම්වලට බොහෝ පිරිස් හසුරුවා ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එලෙස හසුරුවා ගැනීමට ඔවුන්ට නොහැකි වුනා. මෙම ඖෂධය රුසියාවෙත් භාවිතා කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ලබාදෙන ඖෂධ වෛද්‍යවරුන් භාවිත කළ යුතුයි. මහරගම අපේක්ෂා රෝහලේ එම ඖෂධය දැනට වසරකට වැඩි කාලයක් භාවිත කරන අතර, කිසිදු ගැටළුවක් මතු වී නැහැ.”

“ඒකාබද්ධ විපක්ෂය විසින් මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාදීම පිළිබඳව ද චෝදනාවක් ඉදිරිපත් කළා. නමුත් මම කියන්න කැමැතියි එම යන්ත්‍රය මිලදී ගැනීම තවමත් පවතින්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවෙයි.”
මෙම මාධ්‍ය හමුවට එක් වූ වෛද්‍ය ලාල් පනාපිටිය (වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ) මහතා ද අදහස් දක්වන ලදී.
“රුසියාවෙන් ආනයනය කළ පියයුරු පිළිකා ඖෂධය පිළිබඳ ගැටළුවක් පවතින්නේ නම් වෛද්‍ය සැපයීම් අංශයට වාර්තාවක් ලැබිය යුතුයි. මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නැහැ. එම ඖෂධය රෝගීන්ට භාවිත කිරීමෙන් සංකූලතාවයක් මතු වී ඇති බවට වාර්තා වී නැහැ. ඖෂධ මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය ද බලපෑමක් සිදු කරන්නේ නැහැ. එවැනි බලපෑම් එල්ලවුවහොත් ඊට යටත් වන්නේත් නැහැ.”

කතෘ අයිතිය – ලංකා නිවුස් වෙබ්.නෙට්

Related posts

කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

Shiran Viraj

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

Shiran Viraj

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Shiran Viraj
Translate »