28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

එයා කලාවට සම්බන්ධ නෑ පැහැසරා සමඟ එන පි‍්‍රයන්ත මන්සිළු

ප්‍රියන්ත මන්සිළු කියන්නේ වර්තමානයේ ඉන්නා තරුණ රංගන ශිල්පීන් අතරින් එක් අයෙක්. වේදිකාවෙන් ඇරැඹුණු රංගන ගමන ඔස්සේ ඔහු අද පුංචි තිරයටත්, සිනමාවටත් පිවිස සිටිනවා. ඔහුගේ ජීවිතයත්, රංගන ගමනත් පිළිබඳ ප්‍රියන්ත පැවසුවේ මේ වගේ කතාවක්.
* මේ දවස්වල ඔබ දකින්නට ලැබෙන්නේ බොහොම අඩුවෙන් ?
මේ දවස්වල මා සඳුන් රාජකරුණාගේ ‘පැහැසරා’ නාට්‍යයට රංගනයෙන් සහභාගි වෙනවා. ඊට අමතරව සෝලංග ආරච්චිගේ ‘චණ්ඩ මාරුතය’ වේදිකා නාට්‍යයත් සමඟ මා රට වටා යනවා. තරංග සම්පත්ගේ ‘එහෙම කෙනෙක් මෙහේ නැහැ’ වේදිකා නාට්‍ය යේ පුහුණු වීම් කටයුතු කෙරෙනවා.
* ‘පැහැසරා’ හි රඟපාන්නේ කුමන චරිතයක්ද?
එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන විශ්ව කොඩිකාරගේ යහළුවාටයි මා පණ පොවන්නේ. ඒ වෛද්‍යවරයකුගේ චරිතයකටයි.
* ඔහුට ඔබ උපදෙස් ලබාදීමයි සිදු කරන්නේ?
ආදරය හා සමාජය පිළිබඳ උපදෙස් ලබාදීමයි මගේ චරිතයෙන් සිදු වන්නේ.
* ඔබ චිත්‍රපයවලට දායක වනවා බොහොම අඩුයි නේද?
මගේ පළමු චිත්‍රපටය වන්නේ චැලෙන්ජර්ස්. ඊට පස්සේ කලර් හා සුපර් සික්ස්. ඉන් පසුව චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණේ නෑ.
* ඔබ නිර්මාණවලට රංගනයෙන් දායක නොවන්නේ නිර්මාණ නොලැබෙන නිසාද?
ඇත්තෙන්ම මට නිර්මාණ ලැබෙන ප්‍රමාණය අඩුයි. කලින් නිර්මාණවලට රංගනයෙන් දායක වූ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට පමණයි මට ආරාධනා ලැබෙන්නේ. මට අලුත් නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා අඩුයි.
* වර්තමානයේ නළු-නිළියන්ගේ අලුත්ම ප්‍රවණතාව ලෙස අප දකින්නේ වේදිකාව සොයා යෑමයි. ඔබත් ඒ ප්‍රවණතාවට හසුවුණු නළුවෙක්ද?
කලින් මා මර්සි එදිරිසිංහගේ ‘රන්කඳ’, සුනිල් චන්ද්‍රසිරිගේ ‘භීමභූමි’ ආදී වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණු නළුවෙක්. එහෙත් කාලයක පටන් යළිත් වේදිකාවට පිවිසීමේ අදහසක් මගේ සිතේ තිබුණා. රංගනය කියන්නේ අප දැනගෙන යා යුතු ගමනක්. ඒ නිසා මා රඟපෑම ගැන හොඳ මුවහත් වීමකින් සිටිය යුතු බවයි අදහන්නේ. ඊට හොඳම මඟ වේදිකාවයි.
* දැනහැඳුනුම්කම්වලින් පමණක් රංගනයේ නියැළෙන්නට නොහැකි බව ද ඔබ ඔය පවසන්නේ?
මුලින්ම ඒ මඟින් රඟපෑමට පැමිණියත් රඟපෑම ගැන අප හැදෑරිය යුතුයි. මුවහත් වී සිටිය යුතුයි. ඒ නිසයි අලුතෙන් රඟපෑමට පැමිණියට පස්සේ හැමෝම වේදිකාව සොයා ගෙන යන්නේ.
* ඔබත් ඒ අය වගේමද?
මා සම්බන්ධයෙන් නම් මා වේදිකාව සොයාගෙන ගියේ නැහැ. වේදිකාව මා සොයාගෙන ආවා.
* නිර්මාණ නොලැබෙන්නේ රඟපෑමට දක්ෂතාවක් ඔබට නොමැති නිසාද?
මා වෘත්තිය නළුවකු නොවෙයි. වෘත්තිය වශයෙන් මා නියැළෙන්නේ රජයේ රැකියාවකයි. එහිදි නිවාඩු ගැනීමට නොහැකි බව වැනි කටකතාවක් අධ්‍යක්ෂවරුන් අතර පැතිර තිබෙනවා. එක් නිර්මාණයකදී මගේ නම යෝජනා වුණු වෙලාවක එක් අයකු පවසා ඇත්තේ මා විදේශගත වී ඇති බවයි. ඒ විදියට රැකියාවක් කිරීම මට අවාසියක් ගෙන දෙන අවස්ථා තිබුණා.
* අධ්‍යක්ෂවරුන් කැමැති වෘත්තිය නළු-නිළියන්ට පමණක්ද?
බොහෝ දෙනා කැමැති වෘත්තිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් තමන්ගේ නිර්මාණවලට දායක කර ගන්නයි.
* ඒ කියන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නය නේද මෙතැන ඉදිරිපත් වන්නේ?
මා රංගනයෙන් දායක වූ නිර්මාණවල අධ්‍යක්ෂවරුන්, නියමිත වෙලාවට මා රංගන කටයුතුවලට සහභාගි වන බව දන්නවා. මා ගැන දන්නේ නැති අයයි එවැනි වැරැදි අදහසක් සිතේ තියාගෙන ඉන්නේ.
* ඔබ රැකියාවේ නියුතු වන්නේ කුමන ආයතනයකද?
ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ.
* ඔබ පවසන්නේ රැකියාව හා රංගනය සමබරව කරගෙන යා හැකි බවද?
මට ලැබෙන්න තිබෙන නිවාඩුත් සමඟ ඒ කටයුතු සියල්ල සමබර කරගත හැකියි.
* ඔබ රංගනයේ නියැළෙනවාට රැකියා ස්ථානයෙන් ගැටලුවක් පැන නැගෙන්නේ නැද්ද?
නැහැ. රැකියා ස්ථානයෙන් මට ලැබෙන්නේ බොහොම පහසුවක්. ඔවුන් මගේ රංගන කටයුතුවලට බොහොම උදව් කරනවා.
* රංගන කටයුතුවලදී තෝරා බේරා ගැනීමකින්ද නිර්මාණවලට දායක වන්නේ?
ඉස්සෙල්ලා නම් ලැබුණේ නිර්මාණ කිහිපයක් නිසා සියල්ලට ම මා රංගනයෙන් දායක වුණා. ඒත් පසුගිය කාලයේ සිදුවුණු දෙයක් නිසා ඒ ගැන දෙවරක් සිතනවා.
* මොන වගේ ප්‍රශ්නයකටද ඔබට මුහුණ දීමට සිදුවුණේ?
සමහර නිර්මාණවල රඟපෑමේදී සීමා මොනවාද කියලා අධ්‍යක්ෂකවරුන් දන්නෙත් නැහැ. මා දැනගෙන සිටියෙත් නැහැ. ඒත් මේ වනවිට මා ඒ පිළිබඳ හොඳ අවබෝධයකිනුයි පසුවන්නේ. ඒ නිසා නිර්මාණයකට දායක වීමේදී දෙවරක් සිතනවා.
* ඔබ ඔය පවසන්නේ කුමන නිර්මාණයක් සම්බන්ධයෙන්ද?
චිත්‍රපට හා ඩී.වී.ඩී. චිත්‍රපටවල නිර්මාණ සම්බන්ධයෙනුයි. ඒ නිසා දැන් මා නිර්මාණ තේරුම් බේරුම් කරගෙනයි රඟපාන්නේ. මුලදි තිබුණු අඩුපාඩු සියල්ලම වාගේ මේ වනවිට මා හදා ගත්තා. ඒ වගේම නිෂ්පාදකවරුන් කවුද? අධ්‍යක්ෂවරුන් කවුද? කියලා දැනගෙනයි නිර්මාණවලට සම්බන්ධ වන්නේ.
* ඔබ එහෙම පවසන්නේ ඇයි?
එහෙම නොදැන නිර්මාණයකට දායක වුණාට පස්සේ මුදල් ලබා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා.
* ඒ විදියට කලාවට සීමා ඇති කර ගත හැකිද?
වසර ගණනක් ක්ෂේත්‍රයේ සිටින විට ඒ ඒ අය කවුදැයි කියන්න අප දන්නවා. මට එහෙම දේවල‍් වුණේ නැති වුණත් එවැනි සියල්ල අප දැනගෙන සිටිය යුතුයි.
* මේ වනවිට ඔබ ප්‍රේමවන්තයෙක්ද?
මීට පෙර නම් පෙම්වතියක් සිටියා. දැන් මම ප්‍රේමවන්තයෙක් නොවෙයි. ඒ ගැන නොසිතා කලාවෙන් ඉදිරියට යන්නයි මා සිතාගෙන සිටින්නේ.
* පෙම්වතිය ඔබව දමලා ගියේ කලාව නිසාද?
ඇය මාව දමලා ගියේ කලාව නිසාමත් නොවෙයි. මාව තේරුම් ගැනීමට නොහැකි වූ නිසයි.
* ඒ කියන්නේ ප්‍රියන්ත කියන්නේ තේරුම් ගැනීමට නොහැකි කෙනෙක්ද?
මම නිදහස ප්‍රිය කරන කෙනෙක්. ගොඩක් ප්‍රශ්න ඔළුවට දමා ගන්නත් මා කැමැති නැහැ. ඒ වගේම හැමතිස්සේ ම මා ගැන සොයනවාටත් මා කැමැති නැහැ.
* මෙහෙම කියනවිට ප්‍රියන්තගේ පෙම්වතිය වෙන්න පුරප්පාඩුවක් තිබෙනවා කියලා කවුරු හෝ සිතුවොත් ඔබ මොකද කියන්නේ?
ඉදිරියේදී හොඳ දෙයක් වේවි කියා මා සිතනවා
* ඔබ විවාහ වීමට කැමැති යෝජිත විවාහයකින්ද? ආදර සම්බන්ධතාවකින්ද?
එය කුමන ආකාරයෙන් සිදු වුවත් වැදගත් වන්නේ දෙදෙනා ගැන දෙදෙනාට තිබෙන අවබෝධයයි. ඒ වගේම කැප කිරීමත් කිරීමට දෙදෙනා ම සූදානම් විය යුතුයි.
* ඔබ ආදරය කළ යුවතියගේ නම මොකක්ද?
එයා කලාවට සම්බන්ධ කෙනෙක් නොවෙයි. දැනට ඒ ඇති.
* ඉදිරියේදී කලාවට සම්බන්ධ කෙනෙක්ද ඔබ විවාහ කර ගන්නේ?
කලාවට සම්බන්ධ කෙනෙක් විවාහ කර ගැනීමට මගේ අදහසක් නැහැ.
* ඒ ඇයි?
කලාවේ බොහෝ දේ ගැන දන්න නිසා මා ඒකට කැමැති නැහැ.
* කලාවේ නියැළෙන්නන් සිතයි ඔබ ඒ අයට චෝදනා කරනවා කියලා?
එහෙම නොවෙයි. කලාවේ සිටින අය බොහොම කාර්යබහුලයි. එවැනි යුවතියකට සම්ප්‍රදායික මවගේ චරිතය රඟපාන්නට නොහැකි වේවි.
* ඒ කියන්නේ ඔබ වඩාත් කැමැති සාම්ප්‍රදායික බිරියකටද?
මවකගෙන් පවුලකට ඉටුවිය යුතු දේ බොහෝයි. විශේෂයෙන්ම පියෙකුට වඩා මවකගෙන් දරුවන්ට ඉටුවිය යුතු දේ බොහෝයි. එහෙම වුණා ම ඇයත් රංගන ශිල්පිනියක වුණොත් ඒ කටයුතු සිදු නොවේවි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

කටගැස්මක් නොවිය යුතු පාතාල මර්දනය

Shiran Viraj

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයි

Shiran Viraj

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Shiran Viraj