28.9 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්

දේශීය සහල් සඳහාත් පාලන මිල තීරණය කිරීම අද සිදුකරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ප්‍රකාශ කළා. වෙළඳපොලේ දේශීය සහල් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවට පසුගිය දින කිහිපය පුරාම පාරිභෝගික ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබෙනවා. රජය විසින් පසුගියදා ආනයනික සහල් සඳහා පාලන මිලක් නිකුත් කළ ද මේ දක්වා දේශීය සහල් වලට පාලන මිලක් ලබාදී තිබුණේ නැහැ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සහල් නිෂ්පාදකයින් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී එකඟ වූයේ දේශීය සහ විදේශීය සහල් සඳහා වෙන වෙනම පාලන මිලක් තීරණය කිරීමටයි. කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් සඳහන් කළේ ඒ අනුව අද දිනයේදී දේශීය සහල් සඳහා ද පාලන මිලක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟයත් සමඟ වෙළඳපොලේ මේ වනවිට පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදන පාරිභෝජනය ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා. මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිට සහල් හිඟය උග්‍ර වී ඇති බවයි.
පසුගිය දිනවල සුපිරි වෙළඳසැල්වල පමණක් සහල් අලෙවි කෙරුණු බවත්, එයද මේ වනවිට නතර වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ හේතූන් නිසා පාරිභෝගික ජනතාව පාන් පිටි පරිභෝජනය සඳහා යොමු වී ඇති බවද ඔහු කියා සිටියා.
මේ අතර, පාරිභෝගික සේවා අධිකාරිය පොලොන්නරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් පාරිභෝජනයට නුසුදුසු අත්අඩංගුවට ගත් සහල් කිලෝ 3000 ක් පුළුස්සා විනාශ කර දැමුවා. පාරිභෝගික ජනතාව නොමඟ යැවීමට හෝ රැවටීමට තුඩුදෙන අයුරින් කෘමි ආසාදිත රතු කැකුළු සහල් සහිත අසුරන ගබඩා කිරීමේ චෝදනාව මත අදාළ සහල් හිමියාට එරෙහිව නීතිමය පියවරද ගත් බවයි වාර්තා වන්නේ.
පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය දින කිහිපය පුරාවටම වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයින්ටද එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවේ පාරිභෝගික ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්.
– හිරු ප්‍රවෘත්ති

Related posts

ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

Shiran Viraj

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු 16 දක්වා යළි රිමාන්ඩ්

Shiran Viraj

ජනාධිපතිතුමනි ඔබේ සද්භාවය අහෝසියි…- අමරසේකරගෙන් ජනපතිට තදබල ලිපියක්..

Shiran Viraj
Translate »