25 C
Colombo
2024-07-08
mediahumanrights.lk
News Sports Sports News

'පැරදුනහම නිදහසට කරුණු වැඩක්‌ නැහැ' සනත් ජයසූරිය

දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලිය පරාජය වීමෙන් පසු කිසිවකුට නිදහසට කාරණා දොඩවා පලක්‌ නැති බවත් අදාළ පරාජයන්ට හේතුව ශ්‍රී ලංකාවේ දේශීය සහ පාසල් ක්‍රිකට්‌ සැලැස්‌මේ ඇති දෝෂයක්‌ නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි.
”ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයකු ඕනෑම තණතීරුවක ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. විදේශවලදී ඇති තණතීරු සහ අනෙකුත් තත්ත්වයන්ට පරාජයෙන් පසුව දොස්‌ කියල වැඩක්‌ නැහැ. අපේ දේශීය සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්‌ සැලැස්‌මට දොස්‌ කියලා වැඩකුත් නැහැ. මොකද අපි පසුගිය වසරවල ලෝක ශූරතා සහ අනෙකුත් ශූරතා දිනුවේ දේශීය තියෙන ක්‍රිකට්‌ සැලැස්‌ම හොඳ නිසා.”
කෙසේ වෙතත් විදේශවලදී එකදිගට පරදින්නට බැරි බවත් මෙම තත්ත්වය ඉක්‌මනින්ම වෙනස්‌ කළ යුතු බවත් පවසන ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා අඩුවක්‌ නැති බවත් ඔවුන් තරගවලදී එය හරියට කළමනාකරණය කර නොගත් බවද පවසයි.
”අපි විදේශවලදී තරග හැමදාම පරදින්න බැහැ. මේ තත්ත්වය ඉක්‌මනින් වෙනස්‌ කරන්න ඕන. නැතිනම් අපිට හැමදාම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන තරගාවලි විතරයි දිනන්න වෙන්නෙ. අපි කුසල් මෙන්ඩිස්‌ව ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන්න පෙර එංගලන්තයට යෑව්වා. ඔහු එහේ මාස ගණනක්‌ ක්‍රීඩා කරලා එහි තත්ත්වය ගැන හොඳ අවබෝධයක්‌ ලබා ගත්තා. ඉදිරියේදී වෙනත් රටවල තත්ත්වයන් යටතේ ක්‍රීඩකයන්ට පෙරහුරුවක්‌ ලබා දිය යුතුයි.”
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණු අප්‍රිකාවේදී එක්‌දින තරගාවලිය පරාජය වුවද ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කණ්‌ඩායම නම් කිරීමේදී තම සීමාවේ සිට උපරිමය කළ බව සනත් ජයසූරිය පවසයි.
”කණ්‌ඩායම නම් කිරීමේදී හැම දේම බලල තමයි නම් කළේ. මොකද මේ කණ්‌ඩායමේ පිතිකරුවන් හත් දෙනෙක්‌ ඉන්නවා. ඒ අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම ඉන්නවා. නමුත් තරගවලදී තරග ජයග්‍රහණය කරවන්න තරම් කිසිම පිතිකරුවකු වටා අනෙක්‌ පිතිකරුවක්‌ එකතු වුණේ නැහැ. ඒක තමයි පරාජයට හේතුව. ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා විදිහට කණ්‌ඩායම පරදින විට මටත් චෝදනා එල්ල වෙනවා. නමුත් මම මගේ සීමාවේ ඉඳගෙන අනෙක්‌ තේරීම් කමිටු සාමාජිකයන් සමගත් කතා කරල උපරිමය කළා.” යෑයි ජයසූරිය පවසයි.
දකුණු අප්‍රිකානු තණතීරුවල තත්ත්වය සහ එහි පන්දුවට පහරදිය යුතු ආකාරය පිළිබඳව තමා ලද අත්දැකීම්ද කණ්‌ඩායමට ලබාදුන් බවත් ක්‍රීඩකයන් සමග සහ පුහුණුකරු සමඟද සාකච්ඡා කරමින් නිතරම සැලසුම් සකස්‌ කළද පළමු තරග තුනේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 200 සීමාවට මෙපිටින් සීමාවීම තරගාවලි පරාජයට හේතු වූ බව ජයසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
”මම පුහුණුවීම් බලනවා. තරග බලනවා. මොවුන්ගේ පුහුණුවීම්වල ප්‍රශ්නයක්‌ නැහැ. තරගයකදී සැලැස්‌මකට අනුව ක්‍රීඩා කරන්න සියලු දෙනා දැන ගන්න ඕන. එක පිතිකරුවකු ලකුණු අතරට එන විට ඔහු දිගු ඉනිමක්‌ ක්‍රීඩා කරන්න ඕන. මොකද දකුණු අප්‍රිකානු තණතීරුවලදී පන්දුව බවුන්සර් වෙන විට පහර දෙන්න ගියොත් දැවී යන්න තියෙන අවස්‌ථා වැඩියි. මම ඒ සියලු දේ පිළිබඳවත් ඔවුන්ව දැනුවත් කළා. කොහොම වුණත් ක්‍රීඩකයන් ලෙස ඔවුන් මේ තරගාවලියේදී හොඳ අත්දැකීමක්‌ ලබා ගත්තත් මීට වඩා හොඳ දෙයක්‌ කරන්න තිබුණා. පරාජයට හේතුව වුණේ තරගවලදී ඔවුන්ගේ වගකීම හරියට ක්‍රියාත්මක නොකිරීම.”
පළමු පෙළ තරගාවලියේදී සහ පුහුණු තරගවලදී දක්‍ෂතා දැක්‌වූ සෑම ක්‍රීඩකයකුට අවස්‌ථාව ලබාදුන් බවත් නවක ක්‍රීඩකයන්ගේ වගකීම ලැබෙන අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම බවත් තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
”කණ්‌ඩායමට එක්‌කර සිටින සියලුම ක්‍රීඩකයන් පළමු පෙළ සහ පුහුණු තරගවලදී හොඳින් ක්‍රීඩා කරපු අය. වේග පන්දු යවන්නෝ අසාර්ථකම නැහැ. නමුත් පිතිකරුවන් තරගයක්‌ දෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගත යුතුයි. ඒ වගේම දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ ඉන්න හොඳම කණ්‌ඩායමක්‌. ඒ වගේ කණ්‌ඩායමක්‌ සමඟ ක්‍රීඩා කරනකොට අතපසුවීම් වෙන්න බැහැ.”
විස්‌සයි විස්‌ස තරගාවලියේදී හොඳින් දක්‍ෂතා දැක්‌වූ සීක්‌කුගේ ප්‍රසන්න කණ්‌ඩායමට ඇතුළත් නොවීම පිළිබඳව සනත් ජයසූරිය පවසන්නේ මෙවැනි අදහසකි. ”සීක්‌කුව අපි අයින් කරලා නැහැ. ඔහු විස්‌සයි විස්‌ස කණ්‌ඩායමේ ඉන්නවා. මේක පන්දුවාර පනහේ තරගයක්‌. මේ දෙක පටලවා ගත්තොත් එකක්‌වත් හරියට කරන්න බැහැ. නමුත් අපි කිසිම ක්‍රීඩකයකුව එක තරග ආකෘතියකට කොටු කරන්නේ නැහැ. සුදුසු වෙලාව ආපුවාම අවස්‌ථාව දෙනවා.කොහොමත් පරදින කොට ප්‍රශ්න වැඩියි.”

Related posts

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj

මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල්ට.. නව ඇමතිවරුන්ගේ විෂයන් මෙන්න…

Shiran Viraj

කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..

Shiran Viraj