25 C
Colombo
2026-01-27
mediahumanrights.lk
NewsPolitical

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි.

ජනාධිපති කාර්යාලයේදී  වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමතමින් ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ කළේය.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මැතිවරණ ජය අපේක්ෂාවෙන් සැකසූවක් නොවේ. එය  විද්වතුන් සහ ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් සමග වසර ගණනාවක අධ්‍යයනයකින්, ජනතා මෙහෙවර වෙනුවෙන් සම්පාදනය කළ එකකි. බොහෝ ආයතන වසර ගණනාවක සිට හුදෙක් රැකියා සපයන ස්ථාන බවට පත්ව තිබේ. මේ අයුරින් රට ඉදිරියට ගෙන යා නොහැක. ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම නව සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. පවතින ක්‍රම වෙනුවට නව මඟක් ඔස්සේ බිඳ වැටී ඇති ආයතන ගොඩනැගීමට පියවර ගත යුතුයි.” ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොල් සහ තේ වගා සංවර්ධනය සමග සෙසු බෝග වගා ද දියුණු කළයුතුය. නව පර්යේෂණ සහ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු වේ. පාරම්පරික කර්මාන්තවලට ප්‍රමුඛත්වය දීමෙන් විශාල ආදායමක් උපයාගත හැකිය. මේ සියලු ක්ෂේත්‍ර මඟින් රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දින කිහිපයක සිට උපාධිධාරීන් ඇතුළු කණ්ඩායම් රැකියා ඉල්ලමින් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණෙති. රට තුළ සංචාරක, පරිගණක තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක ඇබෑර්තු විශාල ප්‍රමාණයක් පවතී. එහෙත් අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාව නිසා මේ ඉඩ ප්‍රස්ථා අපතේ යන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිතුමා පැවසීය. ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට  පත්වෙමින් තිබේ. තවත් වසර හතරකින් විශ්ව විද්‍යාලයෙන් පිටතට එන අනාගත පරපුර ඵලදායී ලෙස ඊට යොමු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම තම මූලික අරමුණක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ආර්ථිකය ගොඩනැගීම අරභයා අදහස් හුවමාරු කරගැනීමද අද හමුවේ දී සිදු විය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

(under the courtesy of lankacnews.com news web)

Related posts

දිරියෙන් ජයගත් පහේ හපනා

Shiran Viraj

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

Shiran Viraj

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Shiran Viraj
Translate »