mediahumanrights.lk
BusinessBusiness NewsNews

ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදකයෝ මිලාන්හි පැවැති CPHI Worldwide 2026 ප්‍රදර්ශනය හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා අත්පත් කරගනිති

ඉතාලියේ මිලාන් නුවර ‘Fiera Milano’ හිදී 2026 ඔක්තෝබර් 6 සිට 8 දක්වා පැවැත්වූ 37 වන CPHI Worldwide 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදකයන්ගේ නිරීක්ෂණ සංචාරයක් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පියවර ගෙන තිබේ. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙම සංචාරයට සමගාමීව ඖෂධ ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ව්‍යාපාරික හමුවීම් සහ සබඳතා ගොඩනගා ගැනීමේ (networking) වැඩසටහන් මාලාවක් ද මිලාන් නුවරදී පැවැත්විණි.

ශ්‍රී ලාංකික ඖෂධ නිෂ්පාදනයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳපොළ නියෝජනය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් පහක් නියෝජනය කරමින් පස්දෙනෙකුගෙන් යුත් ව්‍යාපාරික නියෝජිත පිරිසක් මෙම නිරීක්ෂණ සංචාරයට එක්ව සිටියහ.

එලෙස සහභාගී වූ සමාගම් වන්නේ:

  1. රාජ්‍ය ඖෂධ නිෂ්පාදක නීතිගත සංස්ථාව (SPMC)
  2. සිද්ධාලේප එක්ස්පෝර්ට්ස් ලිට්මඩ් (Siddhalepa Exports Ltd.)
  3. ලීනා මැනුෆැක්චරින් ලිට්මඩ් (Lina Manufacturing Ltd.)
  4. වෙට්ෆාමා බයෝටෙක්නොලොජි ලිට්මඩ් (Vetpharma Biotechnology Ltd.)
  5. අයිත්‍රා ෆාමසියුටිකල්ස් ලිට්මඩ් (Aithra Pharmaceuticals Ltd.)

ඖෂධ, පශු වෛද්‍ය, සෞන්දර්ය ඖෂධ (cosmeceutical) සහ ස්වාභාවික නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි මෙම පිරිසට ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමටත්, විභව ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමටත්, ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා නාමය ප්‍රවර්ධනය කිරීමටත් හොඳ අවස්ථාවක් හිමිවිය.

CPHI Worldwide යනු ඖෂධ නිෂ්පාදකයන්, සක්‍රීය ඖෂධ ද්‍රව්‍ය (API) සම්පාදකයන්, කොන්ත්‍රාත් සංවර්ධන හා නිෂ්පාදන සංවිධාන (CDMOs), ඇසුරුම්කරණ සැපයුම්කරුවන් සහ විශේෂිත තාක්ෂණික සේවා සමාගම් ඇතුළු සමස්ත ඖෂධ නිෂ්පාදන සැපයුම් දාමය එකමුතු කරන ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වේදිකාවකි.

ඖෂධ ක්ෂේත්‍රය යනු දැඩි නීතිරීති සහ ප්‍රමිතීන්ට යටත්ව ක්‍රියාත්මක වන අංශයකි. අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී අදාළ නිෂ්පාදන ලියාපදිංචිය, ගුණාත්මකභාවය සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන පුරුදු (EU-GMP) වැනි දැඩි නියාමනයන් සහිත වෙළෙඳපොළවල් වෙත පිවිසීමට අනුමැතිය ලබාගැනීම දීර්ඝ හා අධික පිරිවැයක් සහිත ක්‍රියාවලියකි.

නවීන තාක්ෂණය, නියාමන රාමු, අලෙවිකරණ උපායමාර්ග, නව ඖෂධ අණු (molecules) සහ උසස් නිෂ්පාදන පද්ධති හමුවේ වේගයෙන් වෙනස් වන ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ යාවත්කාලීන වීම ශ්‍රී ලංකාවේ ඖෂධ ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. මෙම දැනුම සහ තාක්ෂණික පරතරය පියවා ගනිමින් උසස් වටිනාකමකින් යුත් ඖෂධ නිෂ්පාදනයට යොමු වීමට සහ ප්‍රමුඛ අපනයන වෙළෙඳපොළවල් ජය ගැනීමට මෙම නිරීක්ෂණ සංචාරය විශාල පිටුවහලක් විය.

ප්‍රදර්ශනය නැරඹීමට අමතරව මිලාන්හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවීම් හරහා ජාත්‍යන්තර මිලදී ගන්නන්, බෙදාහැරීම්කරුවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට අවස්ථාව සැලසිණි.

මෙහිදී බාබඩෝස්හි Barbados Pharmaceutical Inc., අයර්ලන්තයේ Orion GXP Consulting, ඉතාලියේ Gruppo Farmalpresa, එක්සත් රාජධානියේ Intertek, ප්‍රංශයේ Nanopharm සහ ස්පාඤ්ඤයේ NATAC යන ප්‍රමුඛ ආයතන මෙන්ම ටැන්සානියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන් සමඟද ශ්‍රී ලංකා නියෝජිතයෝ සාකච්ඡා පැවැත්වූහ. එහිදී තාක්ෂණික සහයෝගීතාව, ඖෂධ නිෂ්පාදන සංවර්ධනය, ස්වාභාවික අමුද්‍රව්‍ය සහ නියාමන අවශ්‍යතා පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙරට ඖෂධ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනයාම සහ අපනයන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන වර්ධනය වෙනුවෙන් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්

Shiran Viraj

ඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහරදී රත්තරන්, මුදල් කොල්ල කයි..

Shiran Viraj

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Shiran Viraj
Translate »