2026-07-03
mediahumanrights.lk
Local NewsNews

වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්

වී ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සහතික කිරීමේ අරමුණින්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙනුවෙන් විශේෂ ඇප ණය ක්‍රමයක් (pledge loan scheme) හඳුන්වා දීමට රජය ඊයේ (02) පියවර ගත්තේය.

මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු 16ක් තෝරාගෙන ඇති අතර, සුදුසුකම් ලබන ණයකරුවන්ට සියයට 8ක සහන පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 75ක් දක්වා උපරිමයකට යටත්ව ණය ලබාගත හැකිය.

මුදල් අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ 2026 යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. දෛනික වී කෙටීමේ උපරිම ධාරිතාව මෙට්‍රික් ටොන් 25ක් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති මෙම ණය ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, මෙම ණය මුදල් ලබාගන්නා සියලුම දෙනා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සහ වී අලෙවි මණ්ඩලය (PMB) විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සතු කරගත යුතුය.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව (NDB), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සනස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගිල්ස් බැංකුව, යූනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) යන බැංකු 16 මෙම ණය වැඩපිළිවෙළ සඳහා දායක වන මූල්‍ය ආයතන ලෙස තෝරාගෙන තිබේ.

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් සහතික කෙරෙන පරිදි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන අවම මිලදී ගැනීමේ මිලට (Minimum Purchase Price) යටත්ව වී මිලදී ගැනීමට මෙමගින් සැලසුම් කර ඇත.

Related posts

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj
Translate »