mediahumanrights.lk
News Political

විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් ගුවන් තොටේදීම කොරෝනා පරීක්‍ෂා කරන්නැයි ජනපති දන්වයි..

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිතුමා පවසයි.

කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ.

PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණ. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ.

මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රැසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි රාජපක්ෂ මැතිතුමා කීය.

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මිහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…

Shiran Viraj

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Shiran Viraj

මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

Shiran Viraj