mediahumanrights.lk
NewsPolitical

නාමල් රාජපක්ෂ මහතාගෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි විවේචනයක්

යහපාලන සමයේ මුදල් ලබාගෙන බොරු ප්‍රචාරය කළ පිරිස්, අද එම බොරු ඇත්තක් බව ඔප්පු කිරීම සඳහා මහජන මුදල් වියදම් කරමින් අධිකරණය, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අවභාවිත කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති “ගමින් ගමට” වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එදා රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සඳහා විවිධ සංවිධාන සහ දේශපාලන පක්ෂවලින් මුදල් ලබාගත් ආකාරය අද එම පිරිස්ම මාධ්‍ය හමුවේ අනාවරණය කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජය මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ගේ මනස විකෘති කිරීමට උත්සාහ කර ඇති බවත් ඔහු චෝදනා කළේය. එසේම නොරොච්චෝල බලාගාරය සඳහා බාල ගල් අඟුරු ගෙන්වීම හරහා සිදු වූ මහා වංචාව වසා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව ද ඔහු පැවසීය. පසුගිය කාලයේ අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයන්ට අනුව ජනවාරි මාසයේ තමන්ව සහ සිය මෑණියන්ව රහස් පොලිසියට කැඳවා සිරගත කිරීමට කටයුතු කළ ද, ආණ්ඩුව සිදු කරන ගල් අඟුරු වංචා, ආගමික හා සංස්කෘතික විනාශයන් මෙන්ම කුඩු කන්ටේනර් ජාවාරම් වැනි කරුණු වසන් කළ නොහැකි බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමේදී රජය විසින් ලබා දුන් චෙක්පත්වල මුදල් නොමැති වීම විශාල අපරාධයක් සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද ඔහු සඳහන් කළේය. සාමාන්‍ය පුද්ගලයෙකු එවැනි ක්‍රියාවක් කළහොත් නීතිය ක්‍රියාත්මක වන නමුත් ජනාධිපතිවරයාගේ වේදිකාවේදී එවැනි දේ සිදු වීම ගැටලු සහගත බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එසේම රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හරහා ඔවුන් තීන්දු තීරණ ගැනීමට බිය වන තත්ත්වයක් උදා වී ඇති බව ද ඔහු පැවසීය. දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දීම හරහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආසන්නයේ ක්‍රීඩකයන්ට මානසික පීඩනයක් ලබා නොදී ඔවුන්ව ශක්තිමත් කළ යුතු බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පවතින ගැටලු දේශපාලනීකරණය නොකර වෙනම විසඳාගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. බොරුවෙන් සහ ජනතාව රවටමින් ආණ්ඩු කළ නොහැකි බවත්, මේ යන ආකාරයට රජයට නුදුරේදීම මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

Related posts

දේශපාලඥයින් ජනතා අයිතීන් උල්ලංඝනය කරලා

Shiran Viraj

මිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..

Shiran Viraj

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

Shiran Viraj
Translate »