කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුගේ අයහපත් චර්යාවන් සහ ඉන් එල්ල වූ බලපෑම් හමුවේ බලධාරීන් නිහඬව සිටින බවට චෝදනා කරමින් එම විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයේ පිරිසක් බොරැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ ශිෂ්‍යයා විසින් තමන්ට අපහසුතාවයක් වන අයුරින් දිගින් දිගටම කටයුතු කළ බවත්, ඒ පිළිබඳව විදුහල්පතිවරයා ඇතුළු පාලනාධිකාරිය දැනුවත් කළද ඔවුන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ගුරුවරියන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන පරිදි, මෙම පැමිණිල්ල වැඩිදුර විමර්ශන සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. මීට පෙර අවස්ථාවලදී ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත්, බලධාරීන් ඒවා නොසලකා හැරීමට හේතුව විමර්ශනය කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශ්වය ඉල්ලා සිටී. පාලනාධිකාරියේ නිහඬතාවය හේතුවෙන් තමන්ට නීතියේ සහාය පැතීමට සිදු වූ බව ගුරුවරියෝ වැඩිදුරටත් සඳහන් කරති.
මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් විසින්ද වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශනයට ලක්වෙමින් පවතී. අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර මුදල් ඉපයීමක් සිදු කර ඇත්ද යන්නත්, මෙම ක්‍රියාවන් සඳහා කිසියම් පාර්ශ්වයක පෙළඹවීමක් තිබුණේද යන්නත් සොයා බලන ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත. නාලන්දා විද්‍යාලය වැනි ප්රමුඛ පෙළේ පාසලක මෙවැනි සිදුවීමක් වාර්තා වීම අධ්‍යාපන ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

