ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවලින් අනතුරුව, මෙරට පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වීමට පාකිස්ථාන රජය තීරණය කර ඇත. බහුපාර්ශ්වික සාකච්ඡා සහ මිත්‍රශීලී රටවල ඉල්ලීම් සලකා බලමින් සිය ජාතික කණ්ඩායමට මෙම තරගය සඳහා එක්වන ලෙස පාකිස්ථාන රජය නිල වශයෙන් උපදෙස් දී තිබේ.
දෙරටේ නායකයන් අතර පැවති දුරකථන සංවාදයේදී, ශ්‍රී ලංකාව අසීරු අවධීන්වල පසු වූ සෑම අවස්ථාවකදීම පාකිස්ථානය ලබා දුන් සහයෝගය ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ද සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සහ දෙරට අතර පවතින නොබිඳුණු ක්‍රීඩා සබඳතාව ඉදිරියට ගෙන යාම තම රජයේ අභිලාෂය බවයි. මෙම තීරණයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උද්යෝගිමත් තරගය ලෙස සැලකෙන ඉන්දු – පාකිස්ථාන ගැටුම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සහතික වී ඇත.
මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) අතර පැවති සාකච්ඡා ද සාර්ථකව අවසන් වී ඇති අතර, 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සාර්ථක කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ. පවතින තත්ත්වයන් මත මෙවර තරගාවලියට සහභාගී නොවන බංග්ලාදේශයට කිසිදු දඬුවමක් පැනවීමට ICC කටයුතු නොකරන අතර, ඔවුන් වෙනුවෙන් 2031 ලෝක කුසලානයට පෙර විශේෂ සත්කාරක අවස්ථාවක් ලබා දීමට ද තීරණය කර ඇත.
පාකිස්ථාන කණ්ඩායම සිය පළමු තරගයෙන් නෙදර්ලන්තය පරදා ජය වාර්තා කළ අතර, ඔවුන්ගේ දෙවන තරගය අද (10) කොළඹදී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙය ඉදිරියේදී පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තීරණාත්මක තරගයට පෙර කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

